දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් පෙරබවාරි 08 වැනිදා සිට 11 වනදා දක්වා බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පලාත්වලත් මාතලේ, ත්‍රීකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30ක් 40ක් දක්වා වන තරමක් තද සුළං ඇති විය හැකි බවද සඳහන්.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පලාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකි බවද නිවේදනයේ දැක්වෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුලංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නට ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
මේ අතර ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ අනාවැකියද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
වැසි තත්ත්වය
කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සුළඟ
සුළං ඊසාන දිශාවෙන් හමා එයි. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වේ.
කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 55ක් දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය
කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.














