
අභියාචනාධිකරණ හා ශේෂ්ඨාධිකරණ විනිසුරුවරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එවැනි වෙනසක් මෙම අවස්ථාවේ අවශ්‍ය හෝ යෝග්‍ය නොවන බව සිය සංගමයේ මතය බවයි. පිළිවෙලින් අවුරුදු 63 හා 65 ලෙස පවතින අභියාචනාධිකරණ හා ශේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වාදීමට රජය සලකා බලමින් සිටින බවට වාර්තා පළ වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පැවති මහජන සංවාද මණ්ඩපයට එක්වෙමින් නීතිඥ සංගමයේ සභාපතිවරයා මේ බව සඳහන් කළා.. මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතාගේ අත්සනින් යුතු ලිපියක් ද පසුගියදා ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණා. අභියාචනාධිකරණ හා ශේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමේ සූදානම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කොළඹදී විශේෂ මහජන සංවාද මණ්ඩපයක් ද සංවිධානය කර තිබුණා. ඊට එම සංගමයේ සාමාජිකයින් මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර යන මහත්වරුන් ඇතුළු දේශපාලඥයින් පිරිසක් ද එක්ව සිටි බවයි වාර්තා වුනේ.














