
දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වෙනවා. මෙවර විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 294,089 දෙනෙකු පෙනී සිටින අතර, ඒ අතුරින් සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් අයදුම්කරුවන් 73,723 ක් ලියාපදිංචි වී සිටින බවයි වාර්තා වන්නේ. මෙම විභාගයට අදාළ උපකාරක පන්ති සිදු කිරීම අගෝස්තු 05 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූයා. විභාගය නිමා වන තෙක් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ශිෂ්‍යත්වයට අදාළ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසන්නේ.
එමෙන්ම ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ දෙමාපියන්ට විභාග මධ්‍යස්ථානවලට ඇතුළු වීමට අවසර හිමි නොවන බවයි.
දරුවන්ගේ මානසික ඒකාග්‍රතාව පවත්වා ගනිමින් අවධානයෙන් විභාගයට මුහුණ දීමට පහසු වීම සඳහා විභාගය ආරම්භ වීමට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත ළඟා වන ලෙස විභාග දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබෙනවා. ප්‍රථමයෙන්ම දෙවන ප්‍රශ්න පත්‍රය ලබා දෙන අතර එය පෙරවරු 9.30 ට ආරම්භ වී පෙරවරු 10.45ට අවසන් වීමට නියමිතයි. අනතුරුව ලැබෙන කෙටි විවේකයකින් පසු පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා පැයක කාලයක් පළමු ප්‍රශ්න පත්‍රය සඳහා හිමි වනවා. විභාගයට පෙනී සිටින සියලුම දරුවන් ප්‍රශ්න පත්‍රයේ ඇති උපදෙස් හොඳින් කියවා, තමන්ගේ විභාග අංකය නිවැරදිව සඳහන් කරමින් පැහැදිලි අත්අකුරින් ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු සැපයිය යුතු බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය පවසනවා. එමෙන්ම ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ කිසිවක් විභාග ශාලාව තුළට රැගෙන යාමෙන් වළකින ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් උපදෙස් ලබා දෙනවා.














