කල් දමා තිබෙන ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලවරණය වහා පවත්වන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 20 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
හිටපු රග්බි ක්‍රීඩකයෙකු වන වරුණ ද සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
මෙම පෙත්සම අද සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
නිලවරණය පැවැත්වීම සඳහා කටයුතු කරන බවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ එකඟතාවයක් ඇතිකරගෙන තිබියදී එය නොපැවැත්වීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
මෙහිදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන සඳහන් කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 20 වනදා කැඳවන ලෙසයි.
ඒ අනුව දෙපාර්ශවයේ එකඟත්වය මත මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 20 වනදා කැඳවන ලෙස අභියාචනාදීකරන විනිසුරු මඩුල්ල නියෝග කළා.