වී ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව අද පෙරවරුවේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි
වී වගාව කෙරෙහි දීර්ඝ කාලයක් තිස්සේ අවධානය යොමු කරමින් වී ගොවියා ආරක්ෂා කර ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර තිබුණද, අනෙකුත් බෝග පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් රට තුළ මෙතෙක් සකස් කර නොමැති බව අමාත්‍ය ලාල් කාන්ත මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම වී ගොවීන් මෙන්ම සියලු ගොවීන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වත්මන් රජයේ අරමුණ බවයි ඔහු සඳහන් කළේ.
ගොවියා, රාජ්‍ය නිලධාරියා සහ දේශපාලනඥයා තවදුරටත් බෙදී කටයුතු නොකළ යුතු බවත්, මින් ඉදිරියට සියලු පාර්ශ්ව එක්ව එකම කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් සෙවිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
සහල් ආනයනය සීමා කිරීම අරමුණු කරගෙන වී නිෂ්පාදනය තවදුරටත් ඉහළ නැංවීම සහ වී මිලදී ගැනීමේ මිල ක්‍රමවේදය විධිමත් කිරීම පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇති බවයි සදහන් වන්නේ.
එසේම, පොහොර සහනාධාර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ලෝක වෙළෙඳපොළෙහි තත්ත්වයද සැලකිල්ලට ගෙන පොහොර සහනාධාර මිල තීරණය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.













