නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද යතුරු පැදි 21ක් සහ වගා කර තිබූ ගංජා පැළ සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසියට ලද තොරතුරක් මත හම්බන්තොට නාගරවැව ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී මෙම යතුරු පැදි සොයාගෙන තිබෙනවා.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.
ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග හා උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමට සමාගාමීව වැඩබලන පොලිස්පතිවරයාට ලද විශේෂ තොරතුරක් මතයි.
එහිදී නාගර වැව කුරුළු උයන පරිශ්‍රයේ කුරුළු ආහාර ගබඩාවේ සඟවා තිබූ මෙරටට ආනයනය කිරීමට තහනම් විදෙස් රටවල නිෂ්පාදිත රුපියල් කෝටි එක හමාරකට වඩා වටිනාකමින් යුතු යතුරු පැදි 21ක් සොයාගෙන තිබෙනවා.
එසේම එම කුරුළු උයන පරිශ්‍රයේ නීති විරෝධීව වගා කර තිබූ ගංජා පැල හතරක් සමග මෙම සත්ව ගොවිපොලේ කළමනාකරු හා ගබඩා පාලක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 40 සහ 50 යන වයස්වල පසුවන මාතර සහ මිද්දෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.