
බන්ධනාගාරගත කර සිටින හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් වුවද, ඔහු නැවත හමුදාව හෝ හමුදාපති අසීම් මුනීර් සමඟ ගැටුමකට නොයන බව ඔහුගේ ප්‍රධාන උපදේශකයෙකු වන දුල්ෆිකාර් බුකාරි ප්‍රකාශ කර සිටිනවා. රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, පාකිස්ථාන ශේෂ්ඨාධිකරණය මගින් ඉම්රාන් ඛාන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට ලබාදුන් නියෝගයෙන් පසුව, රටේ අනාගතය වෙනුවෙන් පවතින දේශපාලන නොසන්සුන්තාව අවසන් කිරීමට තම පක්ෂය සූදානම් බවයි. 73 හැවිරිදි ඉම්රාන් ඛාන්ව පැය 48ක් ඇතුළත පෞද්ගලික රෝහලකට මාරු කරන ලෙසයි ශේෂ්ඨාධිකරණය බලධාරීන්ට පවසා ඇත්තේ. ඉම්රාන් ඛාන්ගේ පාකිස්ථාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් නොහොත් PTI පක්ෂයේ ප්‍රකාශක දුල්ෆිකාර් බුකාරි පෙන්වා දෙන්නේ, ඉම්රාන් ඛාන් නිදහස් වුවද රටට හානියක් වන කිසිදු ක්‍රියාවක නිරත නොවන බවයි. හමුදා නායකත්වය සමඟ ගැටෙනවාට වඩා වේදනාවන් ඉවසමින් රට වෙනුවෙන් කටයුතු කිරීමට ඔහු සූදානම් බවද ඔහු අවධාරණය කර තිබෙනවා.














