මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල ලබාදුන් බව කියන සැකකරුවෙකු හෙරොයින් සමග කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
ජුලි මස 12 වන දින දහවල් රාගම, විජිත මාවතේදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 50 මිලිග්‍රෑම් 600ක්ද සැකකරු සන්තකයේ තිබී සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30ක් පමණ වන බටුවත්ත, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු පසුගිය 03 වනදා රාගමදී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ගාතනය කිරීමේ අපරාධයට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයෙකු බවට විමර්ශනවලදී හෙළිව ඇති බවයි පොලිසිය පවසන්නේ.
රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ජුලි මස 03 වන දින ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් රාගම බටුවත්ත ප්‍රදේශයේදී පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් ආමි උපුල් නමැත්තාට වෙඩි තබා ඝාතනය කර පළාගොස් තිබුණා.
අදාළ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් පසුගිය 8 වනදා අත්අඩංගුවට ගැනුණේද කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්.
එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ද හෙරොයින් කිලෝග්‍රෑම් 9ක් කේරළ ගංජා කිලෝග්‍රෑම් 67ක්, ගිනි අවි දෙකක් සහ උණ්ඩ සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.