අභියාචනාධිකරණ නඩු ගොනුවක පිටු අනීතික ලෙස ඉරා ඉවත් කිරීම තුළින් නීතිඥ ආචාරධර්ම උල්ලංඝණය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඩබ්ලිව්.ඩී. ධර්මසිරි කරුණාරත්න නමැති නීතිඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (අගෝ. 6) තීන්දු කළේ ය.
අභියාචනාධිකරණයේ ලේඛනාගාරයට පිවිස නඩු ගොනුවක් ලබාගෙන අනීතික ලෙස එහි පිටු දෙකක් ඉරා ඉවත් කර ඇති බවට එල්ල වූ චෝදනාවට තමා නිවැරදිකරු බවට එම නීතිඥවරයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පැවති සාක්ෂි විභාගයක් අවසානයේ මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ කුමුදුනි වික්‍රමසිංහ, අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසිනි.
අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරි ඩබ්ලිව්.එස්.බී.එස්. ප්‍රනාන්දු විසින් මරදාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ නීතිඥවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර 2023 වසරේ ජනවාරි මස 25 වන දා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරුණු බවත් ඉන් අනතුරුව නීතිඥභාවය ඉවත් නොකිරීම සඳහා නිදහසට කරුණු දක්වන ලෙස දන්වා අධිකරණ සංවිධාන පනතේ 42(3) යටතේ නිකුත් කළ චෝදනා පත්‍රයට තමා නිවැරදිකරු බව ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබූ බවත් නඩු තීන්දුවේ සඳහන් වේ.
වගඋත්තරකාර නීතිඥවරයා ද සාක්ෂි ලබාදීමේ අවස්ථාව දෙමින් සාක්ෂි විභාගයක් පවත්වා ඇත්තේ ඉන් අනතුරුව ය.
ඉදිරිපත් වූ කරුණු මත තීන්දුව ප්‍රකාශයට පත් කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අධිකරණ සංවිධාන පනතේ 40 වන වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිඥවරු ලෙස පිළිගෙන බඳවා ගන්නේ හොඳ කීර්තියක් ඇති සහ දක්ෂ දැනුමක් සහ හැකියාවක් ඇති පුද්ගලයන් පමණක් බව මතක තබා ගත යුතු යැයි පැවසීය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව වගඋත්තරකාර නීතිඥවරයා අධිකරණ සංවිධාන පනතේ 42 වන වගන්තිය ප්‍රකාරව ඔහු වහාම නීතිඥභාවයෙන් ඉවත් කිරීමට නියෝග කරන බවත් ඒ අනුව මෙම නියෝගය අනුව කටයුතු කර අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් එහි රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කරනු ලැබිණි.