වාලච්චෙන සහ මිහින්තලය යන ප්‍රදේශවලදී සිදු වූ රිය අනතුරු දෙකකින් වයස අවුරුදු 9 දරුවෙක් ඇතුළු දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
පොලිසිය කියා සිටියේ වාලච්චේන, කාවත්තමුන ප්‍රදේශයේ අතුරු මාර්ගයක ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගය අයිනේ නතර කර තිබූ අත් ට්‍රැක්ටරයක ගැටී අනතුරක් සිදුව ඇති බවයි.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ ගමන්ගත් පිරිමි දරුවෙක් වාලච්චෙන රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ මියගිය පිරිමි දරුවා කාවත්තමුන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 9ක් පමණ වන අයෙක් බවයි.
සිද්ධියට සම්බන්ධ ත්‍රීරෝද රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර වාලච්චෙන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර මිහින්තලය, සීප්පුකුලම ගලෙන්බිඳුණුවැව මාර්ගයේ පාළුවැව ප්‍රදේශයේදී ගලෙන්බිඳුණුවැව දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ කැබ් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
එහිදී බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු තම්මැන්නාව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
පොලිසිය කියා සිටියේ මරණකරු වයස අවුරුදු 43ක් වූ සීප්පුකුලම, මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
සිද්ධියට සම්බන්ධ කැබ් රථයේ රියදුරු පළාගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.