
දෙහිවලදී එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරයකින්, දරුවන් දෙදෙනකු ඝාතනය වීමේ සිද්ධියේ, බෝම්බය ප්‍රහාරය එල්ල කළ බව කියන පුද්ගලයා හා ඔහු පැමිණි ත්‍රිරෝද රථය පැදවූ බව පැවසෙන තැනැත්තා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරුවන් දෙදෙනා මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරමින් ඇති බවයි පොලිසිය පවසන්නේ. බෝම්බ ප්‍රහාරය එල්ල කළ බව කියන සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ ප්‍රහාරය එල්ල කළ නිවස හා ඔවුන් ඉලක්ක කළ නිවස එකම බිත්තියකින් වෙන්වී තිබීම ඇති බවයි. ඒ හේතුවෙන් නිවස හදුනාගත නොහැකි වී ඇති බවයි ඔවුන් පවසා ඇත්තේ. දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට ඉකුත් 11 වැනිදා අලුයම එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරයකින් වයස අවුරුදු 11ක් හා 17ක් වූ දරුවන් දෙදෙනෙකු මියගොස් ඔවුන්ගේ පියාට බරපතළ තුවාල සිදුවුණා. පියාගේ පාදයක් ඉවත් කෙරුණු අතර මියගිය දරුවන් දෙදෙනාගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු පසුගිය සදුදා පස්වරුවේ සිදු කෙරුණා. සිද්ධිය පිළිබඳ විමර්ශන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ආරම්භ කර තිබෙනවා.














