
ජනතාව අතර අනතුරු නිවාරණය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම සඳහා 11 වැනි ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව හෙට සිට එළැඹෙන 10 වැනි දින දක්වා මෙම අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වීමටද නියමිතයි. ඒ අනුව හෙට දින මාර්ග අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත්, ජූලි (07) සේවා ස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් නම් කර ඇති බව සඳහන්. එමෙන් ම ජූලි (08) නිවෙස් හා වැඩිහිටි නිවාසවල අනතුරු වැළැක්වීමේ දිනය, ජූලි (09) දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය, ජූලි (10) පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් සතිය නම් කර තිබෙනවා. මෙම සතිය තුළ දිවයින පුරා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, අවදානම් ස්ථාන හඳුනාගැනීමේ ක්‍රියාකාරකම්, ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීම සඳහා ප්‍රායෝගික වැඩසටහන් සහ අනතුරු අවම කිරීම සඳහා කෙටි, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.














