ස්ථිර ඔප්පු ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියක් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවෙන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ 2024 වර්ෂයේදී උරුමය වැඩසටහන යටතේ බවට පවසා ඔප්පු නොමැති ඉඩම් සඳහා ස්ථිර ඔප්පු ලබාදෙන බවට පොරොන්දු වී මුලින් රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් වංචා කර සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබූ බවයි.
ඒ අනුව මෙම මුදල් වංචාවට සම්බන්ධ සැකකාරියක් අගෝස්තු මස 26 වන දින අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් සැප්තැම්බර් මස 29 වන දින අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 43ක් පමණ වන බකමූණ ප්‍රදේශයේ පදිංචිකාරියක් වනඅ තර කිරිබත්ගොඩ ප්‍රදේශයේ තාවකාලික ලැඟුම්හලක පදිංචිව සිට ඇති අතර සැකකරු වයස අවුරුදු 55ක් පමණ වන මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකාරිය කල්මුණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් 164 දෙනෙකුට උරුමය වැඩසටහන යටතේ ඔප්පු නොමැති ඉඩම් සඳහා ස්ථිර ඔප්පු ලබාදෙන බවට පවසා තමා නීතිඥවරියක් වශයෙන්ද ඔවුන් වෙත හඳුන්වා දෙමින් ව්‍යාපාරිකයන් රවටා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ හයක මුදලක් ලබාගෙන ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.
එසේම සැකකරු කල්මුණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් 50 දෙනෙකු පමණ සිරිකොත මූලස්ථානයට සහ කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකට කැඳවා දේශපාලන කරුණු පිළිබඳ සාකච්ඡා කර රැවටීමට ලක්කර ඔප්පු ලබාදෙන බවට පවසා වංචා සහගත ලෙස මුදල් ලබාගෙන ඇති බවට වැඩිදුරටත් අනාවරන වී තිබෙනවා.
වැඩිදු විමර්ශනයේදී මෙම සැකකරු භාරයේ තිබු වංචනිකව ලබාගන්නා ලද මුදලින් රුපියල් ලක්ෂ 20ක් අත්හිටුවීම සඳහා අධිකරණය නියෝග ලබාගැනීමටද විමර්ශන නිලධාරීන් කටයුතු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබනවා.