දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ හුවමාරුව අසලදී ලොරි රථයක් සහ මොටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ත්රීකුණාමලය තිරුක්කෝවිල් සහ මඩකලපුව ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 70 සහ 75 අතර පසු වූ පුද්ගලයින් දෙදෙනක්.
අනතුර හේතුවෙන් මෝටර් රථයේ ගමන ගත් තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ මාතර දෙස සිට කොළඹ දෙසට පැමිණ තිබූ ලොරි රථය කාර්මික දෝෂයක් හේතුවෙන් අධික ලෙස දුමාරයක් පිට වී ඇති බවයි.
මේ හේතුවෙන් ලොරි රථයේ රියදුරු තිරිංග ක්රියාත්මක කර ලොරි රථය දොඩම්ගොඩ පිවිසුම ආසන්නයේ නවතා එයින් බැසගොස් තිබෙනවා.
ඒ සමගම මාතර දෙස සිට කොළඹ දෙසට පැමිණි මෝටර් රථය ලොරි රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.
කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරි රථයේ ඇතිවූ දුමාරය හේතුවෙන් මෝටර් රථ රියදුරුට මාර්ගය නොපැහැදිලි වීම හේතුවෙන් මෙම අනතුර වන්නට ඇතැයි පොලිසිය සැකපළ කරනවා.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.