
2025-2026 වර්ෂය වෙනුවෙන් පැවැත්වෙන ගෞතම ශ්‍රී පාද වන්දනා සමය 2026 වෙසක් පොහෝ දිනට (30) පසු දින එනම් මැයි 31 වන දිනෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමුව රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධීශ්වර, ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය, ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, ආචාර්ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නා හිමියන් පවසනවා.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් කියා සිටියේ වෙසක් පොහෝදා ශ්‍රී පාද උඩමළුවේ ආගමික වැඩසටහන් ගණනාවක් පැවැත්වෙන බවත් ඊට පසුදින (31) ශ්‍රීපාද උඩමළුවේ පැවැත්වෙන උදෑසන බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී පාද උඩමළුවේ තැන්පත්කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාවන්වලින් කොටසක් රත්නපුර පලාබද්දර මාර්ගයේ සහ කුරුවිට එරත්න මාර්ගයේ පෙරහැර දෙක්ක ලෙස පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවන බවයි.
එදින ශ්‍රී පාද උඩ මළුවේ දහවල් පැවැත්වෙන බුද්ධ පූජාවෙන් අනතුරුව තවත්පෙරහැරක් නල්ලතන්නිය දක්වා වැඩම කර එදින පස්වරුවේ නල්ලතන්නිය බගවන්තලාව, බලංගොඩ මාර්ගය ඔස්සේ නල්ලතන්නිය, ලක්ෂපාන, අවිස්සාවේල්ල, රත්නපුර හරහා පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා තවත් පෙරහැරවල් දෙකක් ගමන් ගන්නා බවයි.
මාර්ග හතරක් ඔස්සේ වැඩම කරන ලද ශ්‍රී පාද උඩමළුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාවන් සහ ආභරණ එදින රාත්‍රීයේ සිට 31 වන දින දහවල් දක්වා පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර එහි ආගමික වතාවන් ගණනාවක් සහ දේව පූජාවන් ගණනාවක් පැවැත්වීමෙන් අනතුරුව ජුනි මස 01 වන දින පස්වරුවේ ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා එසේ වැඩම කළ ආභරණ පෙරහැරකින් වඩම්මවා ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තැබෙන බවයි උන්වහන්සේ කියා සිටියේ.














