
ශ්‍රී ලංකා රේගුව විසින් ඔක්තෝබර් මස 01 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ” කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය” පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවයි. ශ්‍රී ලංකා රේගුව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය, ඊට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ශ්‍රී ලංකා රේගුවේ තාක්ෂණික සූදානම පිළිබඳව රේගු දෙපාර්තමේන්තුව සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ ඒකකය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් වෙත මෙහිදී පුළුල් පැහැදිලි කිරීමක් සිදුකළ බව සඳහන්. ශ්‍රී ලංකා රේගුව සහ ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ අංශය එක්ව මෙම ක්‍රියාවලිය උදෙසා දක්වන දායකත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ ඇගයීමට ලක්වූණා. මෙම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට ද ඔවුන් එකඟතාව පළකර තිබෙනවා.














