ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කරමින් සිට සේවයෙන් ඉවත් කර ඇති රියදුරෙකු විසින් ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා සිදු කළ මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත පැමිණිලි රැසක් ලැබි තිබු අතර ඒ සම්බන්ධයෙන් කාර්යාංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් විමර්ශනයක් මෙහෙවා තිබෙනවා.
කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා විසින් වහාම මේ සම්බන්ධව කටයුතු කරන ලෙස පොලිස් ඒකකකය වෙත උපදෙස් ලබා දී තිබූ අතර, ඒ අනුව අදාළ මුදල් බැර කළ බැංකු ගිණුම් හිමි කාන්තාව කාර්යාංශයේ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ දින (25) අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එම කාන්තාව අදාළ රියදුරු සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.
අදාල රියදුරු මේ වන විට විමර්ශ නිලධාරීන් මඟ හරිමින් සැගවී සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් පුලුල් විමර්ශන මෙහෙයවනු ලබනවා.
සැකකාර රියදුරට එරෙහිව මේ වන විට කාර්යාංශයට පැමිණිලි අටක් ලැබී ඇති අතර රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචාකර ඇති බවට තොරතුරු අණාවරණය වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.
එම පැමිණිලිවලට අනුව ඔහු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් ඊශ්‍රායල් රැකියා ලබාදෙන බව පවසා මුදල් රැස්කර තිබෙනවා.
එහිදි එම රියදුරා විසින් වංචාකර ලබාගත් මුදල්, අත්අඩංගුවට ගත් කාන්තාවගේ ගිණුමට බැර කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.
මේ සිද්ධියට අදාලව වංචාවන්ට හසුවු පුද්ගලයන් සිටී නම් වහාම කාර්යාංශයට දන්වන ලෙස ඉල්ලා සිටින අතර 1989 දුරකථනයට ඒබ ව දැනුම් දිය හැකි බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.
මෙම වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය අද(26) දින අවිස්සාවේල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (27)දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
කාර්යාංශයේ නම භාවිතා කරමින් සිදුකරණ විදේශ රැකියා වංචාවන් නීතියේ රැහනට හසුකර ගැනිම සදහා පුලුල් විමර්ශන ක්‍රියාත්මක කරන අතර, විදේශ රැකියා වංචාවන්ට හසුවන පුද්ගලයින්ට තරාතිරම නොබලා දැඩිදඩුවම් ලබා දිමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සදහන් කරනවා.
කාර්යාංශයේ පිහිටවන ලද නව පොලිස් ඒකකය මගින් මේවන විට විදේශ රැකියා වංචාවන් රැසක් හෙලිකරගෙන ඇති අතර ඉදිරියේදි ඔවුන් නීතියේ රැහැනට කොටුකර ගැනිමට කටයුතු යොදා ඇති බවද ඔහු කියා සිටියේ.













