මෝල්ඩාවේ රැකියා ලබාදෙන බව පවසා විදේශ රටක සිටින ලාංකිකයෙකු විසින් සිදු තම කාර්යාංශයට තොරතුරු වාර්තා වී ඇතැයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
“ඩුබායි සුද්දා” ඔහුගේ පුද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ වීඩියෝ පළකරමින් මෙම ජාවාරම සිදුකර ගෙන යනු ලබන අතර, ඔහුට මුදල් ලබාදී මෙම වංචාවට හසුවූ පුද්ගලයින්ගෙන් මේ වන විට කාර්යාංශය වෙත පැමිණිලි ලැබෙමින් පවතින බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.
ඒ අනුව ඔහුට එරෙහිව මේ වන විට කාර්යාංශය මගින් අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින අතර, තවදුරටත් මෙම වංචාවට හසුවූ පුද්ගලයින් වෙතොත් හැකි ඉක්මණින් කාර්යාංශය වෙත පැමිණිලි කරන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
1985 අංක 21 දරණ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට අනුව ශ්‍රී ලංකාවෙන් පිටත රැකියා සඳහා බඳවාගැනීම, ප්‍රචාරය සිදුකිරීම, මුදල් එකතු කිරීම, තොරතුරු රැස් කිරීම, ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා බලපත්‍රයක් ලබාගත යුතු අතර, බලපත්‍රයකින් තොරව එවැනි කටයුතු කිරිම දැඩි දඩුවම් ලැබිය හැකි වරදක් බවද කාර්යාංශය සඳහන් කරනවා.
මෙවැනි මිනිස් වෙළඳාම්කරුවන් මැඩලීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් ඒකකයක්ද කාර්යාංශයේ ස්ථාපිත කොට ඇති අතර, එම ඒකකයට මෙවැනි පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.
විදේශ රටවල රැකියාවේ නියුතු ශ්‍රි ලාංකිකයින් විසින් සිය පුද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් හෝ නව සමාජ මාධ්‍ය පිටු භාවිතා කරමින් විදේශ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් වංචාකරන ප්‍රවණතාවයක් මේ වන විට ඇතිවී තිබෙනවා.
එම ජාවාරම් පිළිබඳ කාර්යාංශය දැඩිව අවධානය යොමුකර ඇති අතර, එවැනි වංචාකරුවන්ට තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් පියවර ගෙන තිබෙනවා.
වංචාකරුවන් විසින් විදේශ රැකියා ලබාදෙන බව පවසා සිය පුද්ගලික ගිණුම්වලට මුදල් ලබාගන්නා අතර, ඇතැම් අවස්ථාවල ව්‍යාජ රැකියා ගිවිසුම්, ව්‍යාජ වීසා ලේඛනද රැකියා අපේක්ෂිතයින්ට යොමුකරනු ලබනවා.
ඉන්පසු ඔවුන්ගේ දුරකථනද ක්‍රියා විරහිත කරමින්, සමාජ මාධ්‍ය ගිණුම්ද අක්‍රිය කරන අතර, පසුව කිසිදු තොරතුරක් සොයාගත නොහැකි ලෙස අතුරුදන් ව ඇති බවද කාර්යාංශය පවසනවා.
එබැවින්, විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා කාර්යාංශයේ අනුමැතියලත් විදේශ රැකියා නියෝජිතායතනවලට හැර වෙනත් අතරමැදියන්ට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.













