පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ උඩ මළුවේ සේල චෛත්‍යය ඉදිරිපිට පිහිටි අම්බස්තල බෝධීන් වහන්සේ අද (27) දහවල් කඩා වැටීම හේතුවෙන් වන්දනාවේ පැමිණි බැතිමතෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව කුඩා දැරියක් සීරීම් තුවාල ලබා ඇති බව මිහින්තලේ පොලිසිය පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඊතනවත්ත, දෙමළුව, වාරියපොළ ලිපිනයේ පදිංචිව සිටි, අසංක බණ්ඩාර හේරත් නමැති 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
අද (27) දහවල් 1.30ට පමණ වාරියපොල ප්‍රදේශයේ පදිංචි එම ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ ඥාතීන් 9 දෙනෙකු ඓතිහාසික මිහින්තලය වැඳ පුදා ගැනීම සඳහා පැමිණ මිහින්තලා මහ සෑය වන්දනා කිරීම සදහා පිය ගැට පෙළට නැගීමට සූදානම්ව බෝධිය අසලින් ගමන් කිරීමේදී අනතුර සිදු වී තිබෙනවා.
මෙම හදිසි අනතුර හේතුවෙන් බෝධීන් වහන්සේ මුල ප්‍රදේශයෙන් ඉදිරී ගොස් බෝධිය හරි මැදින් කොටස් දෙකකට වෙන් වී දිසාවන් දෙකක විශාල ප්‍රදේශයක් පුරා පතිත වී තිබෙනවා.
විශාල ශබ්දයක් නගමින් එම බෝධිය දෙකට වෙන්වන අවස්ථාවේදී ඒ අසල සිටි වයස අවුරුදු නවයක පමණ දැරියක් බේරා ගැනීමට මිහින්තලා රජමහා විහාරස්ථානයේ රජකාරියේ නිරතව සිටි නිලධාරියෙකු කටයුතු කර තිබෙනවා.
මෙම අනතුරින් කඩා වැටුණු බෝධියේ අත්තකට යටවී සිරවී සිටි එම ව්‍යාපාරික මහතා දැඩි පරිශ්‍රමයක් දරා අවට සිටි පිරිස විසින් බේරාගෙන මිහින්තලයේ රජයේ රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව තිබූ බව පොලිසිය පවසනවා.
දේහය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර මිහින්තලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි රංජිත් මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













