ගෙවී ගිය පැය 24ක කාලය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදු වූ මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙක් මියගොස් තවත් 7 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
බිංගිරිය, හුංගම, වත්තල සහ සාලියවැව යන ප්‍රදේශවලදී මෙම මාරක රිය අනතුරු සිදුව තිබෙනවා.
බිංගිරිය, දළුගොඩ, අකරවත්ත මාර්ගයේ හමන්නාපහුව ප්‍රදේශයේදී අකරවත්ත දෙස සිට දළුගොඩ දෙසට ධාවනය වූ යතුරු පැදියක් එම දිශාවටම ගමන් කළ පාපැදියක පසුපස ගැටීමෙන් අනතුරුව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරු පැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු, යතුරු පැදි දෙකෙහි පැදිකරුවන් සහ පසුපැදිකාරියක් කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බරපතල තත්ත්වයේ පසුව එක් අයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 58ක් පමණ ව මොරගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බිංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර හුංගම, කදිරගොඩ අඳුපැලෑන අතුරු මාර්ගයේ ගොඩවෙල ප්‍රදේශයේදී අඳුපැලෑන දෙස සිට කදිරගොඩ දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි පාපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පාපැදිකරු සහ යතුරුපැදිකරු රන්න රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත් බරපතල තත්ත්වයේ පසු වූ පාපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මරණකරු වයස අවුරුදු හැට පහක් පමණ වූ අඳුපැලෑන, රන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
කොළඹ – මීගමුව මාර්ගයේ මාබෝල ප්‍රදේශයේදී ද අනතුරක් සිදුව තිබෙනවා.
පාපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු යතුරු පැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ පාපැදිකරු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වත්තල, මාබෝල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි අයෙක් මෙලෙස මියගොස් තිබෙනවා.
අනතුර සිදු කළ යතුරුපැදිකරු අනතුරෙන් පසුව පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංංගුවට ගැනීම සඳහා වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
අනුරාධපුර – පුත්තලම මාර්ගයේ 17 කණුව ආසන්නයේදී අනුරාධපුර දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ ලොරි රථයක් වන අලියෙකු මාර්ගයේ රැඳී සිටීම හේතුවෙන් නවතා තිබියදී එම දිශාවටම ධාවනය වූ තවත් ලොරියක් නවතා තිබූ ලොරි රථයේ පසුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ පසුපසින් ගැටුණු ලොරි රථයේ රියදුරු සහ එහි ඉදිරිපස අසුනේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙක් පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙක් මරණයට පත්ව තිබෙනවා.
මුලතිව් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් සාලිය වැව පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා.