මහ බැංකු බැඳුම්කර වංචා විමර්ශනවලට අදාළ ගිණුම් වාර්තා මෙතෙක් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මස 11 වනදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයට නියම කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබෙන පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියා.
අදාළ ගිණුම් වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීමෙන් පැමිණිලිකරුවන්ට මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ උනන්දුවක් නොමැති බව පෙනී යන බවයි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ.
මේ හේතුවෙන් මෙම නඩුව පිළිබදව තීන්දුවක් ගන්නා ලෙස ද ඒ මහතා මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බලා මීළඟ නඩු දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට ශ්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය බුද්ධි අංශයට නියම කරනු ලැබුවා.
මෙම නඩුවේ සැකකරුවන් ලෙස පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු නම් කර තිබෙනවා.