2025 වර්ෂයේ පැවැත්වෙන පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර පූජා නගරය මූලික කරගෙන ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ හා රථවාහන සැලැසුම් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජුනි මස 10 වැනිදාට යොදී ඇති පොසොන් පුන් පොහොය දිනය මූලික කර ගනිමින් දිවයින පුරා බෞද්ධ බැතිමතුන් විසින් සිදු කරනු ලබන ආගමික වැඩසටහන් සම්බන්ධයෙන් ආරක්ෂාව ලබාදීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.
පොලිසිය පවසන්නේ පොසොන් උත්සවය සඳහා බැතිමතුන් වැඩි පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කරනු ලබන අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආරක්ෂක සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
මේ සඳහා අනුරාධපුර මූලික කරගෙන මහජනතාවගේ ආරක්ෂාව සඳහා කලාප හයක් වශයෙන් පොලිස් නිලධාරීන් 3500කට ආසන්න සංඛ්‍යාවක් රාජකාරී සඳහා යොදවා තිබෙනවා.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හායුද හමුදා නිලධාරීන් අවශ්‍ය අවස්ථාවලදී සහය ලබාගැනීමට පොරොත්තු සේවා රාජකාරියේ යොදවා ඇති බවයි පොලිසිය පවසන්නේ.
එසේම පොසොන් උත්සව සමයේදී බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් යොමුවන ඓතිහාසික අනුරාධපුර නගරය වෙත වන අතර මිහින්තලා පූජා භූමිය, ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථාන ප්‍රදේශය, තන්තිරිමලය රජමහා විහාරය, අවුකන, විජිතපුර හා නාමල් උයන යන ප්‍රදේශ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බව පොලිසිය පවසනවා.
අනුරාධපුර නගරයේ පහත සඳහන් ස්ථානවල රථ ගාල් ස්ථාපිත කර ඇති බවත් ඒවායෙහි රථ වාහන නවතන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
රුවන්වැලිසෑය රථගාල, රුවන්වැලිසෑය ප්‍රභූ රථගාල, මිරිසවැටිය රථ ගාල, වටවන්දනා රථගාල, ඉසුරුමුණිය පාසල් රථ ගාල, ථූපාරාම සුසාන භූමිය අසල රථගාල, සඳහිරු සෑය රථගාල, පැරණි භික්ෂු විශ්වවිද්‍යාල රථගාල, අභයගිරිය රථගාල, ලංකාරාම රථගාල, සමාධි පිළිම රථගාල, ජේතවනාරාම රථගාල, නෙල්ලිකුලම පාසල් රථගාල, පුරාවිද්‍යා හන්දිය රථගාල, පැරණි බන්ධනාගාර රථගාල, කුරුණෑගල හන්දිය රථගාල, අක්කර 08 රථගාල, පැරණි පොලිස් භූමි රථගාල, පැරණි පොලිස් භූමි ප්‍රභූ රථගාල, සදකඩ පහණ රථගාල සහ කුට්ටම්පොකුණ රථගල යන රථගාල් රථ ගාල් 21 එම ස්ථාන බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර මිහින්තලා පූජා භූ මිය ආශ්‍රීතව ද රථ ගාල් හතක් ස්ථාපිත කර ඇති බව පොලිසිය පවසනවා.
එම රථ ගාල් වන්නේ අඹකොටුව, කඳුපාමුල, කළුදියපොකුණ, ඉසුරු උයන, තිස්ස ක්‍රීඩාංගණය, නව රථ ගාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යල නිල නිවාස රථගාලයි.
අනුරාධපුර නගරය ආශ්‍රීතව ඇති වැව් සහ ජලාශවල දිය නාන පිරිසගේ ආරක්ෂාව සඳහා පොලිස් ජීවිතකාරක්ෂක නිලධාරීන් 150කට ආසන්න සංඛ්‍යාවක් අනුරාධපුර ප්‍රදේශයේ රාජකාරී යොදවා ඇති බවත් 3500කට අධික පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් අනුරාධපුර පූජා භූමිය මූලික කරගෙන පොසොන් උත්සවයේ ආරක්ෂක රාජකාරීයේ යොදවා මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවත් පොලිස් මූලස්ථානය පවසනවා.
පූජා භූමියට මත්පැන් සහ මත්ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර මාර්ගයේ නුසුදුසු ස්ථානවල රථ වාහන නැවතීම හෝ නවතා තැබීම රථ වාහන තදබදයක් ඇතිවීමට හේතුවන බැවින් ඒවා නියමිත රථගාල්වල පමණක් නැවැත්තීමට කටයුතු කරන ලෙස ලෙස දැනුවත් කර සිටිනවා.
රථවාහනවල ආරක්ෂාව සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක පරිදි පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවා ඇති බවද නිවේදනයේ සඳහන්.
කිසියම් හදිසි අවස්ථාවකදී ඇමතී සඳහා 025 2222124 දරණ පොලිස් මෙහෙයුම් මැදිරියේ දුරකථන අංකය භාවිතා කළ හැකි බවත් අනුරාධපුර ප්‍රදේශයට අදාළව රථ වාහන තදබදයකදී හෝ රථ වාහන ආපදා තත්ත්වයකදී අංක 071 859 3330 දරණ දුරකථන අංකයට ඇමතීම් කර පොලිස් නිලධාරීන්ගේ සහය ලබාගැනීමට හැකි බවත් පොලිස් මූලස්ථානය පවසනවා.