බදු පැහැර හැරීමේ චෝදනාව මත නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලි සහ අවුරා ලංකා සභාපති ටී.ඒ.සී.වී. තාඹුගල යන පුද්ගලයන්ට එරෙහිව කොළඹ මහාධිකරණය අධිචෝදනා ගොනු කිරීමට පියවර ගනිමින් සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, කොළම අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට දැනුම්දී තිබෙනවා.
මෙම පුද්ගලයන් දෙදෙනාට අදාළ විමර්ශන වාර්තා දැනටමත් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ.
ඒ අනුව නියමිත වේලාවට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවද නීතිඥවරයා අධිකරණය වෙත දන්වා සිටියා.
2022 සහ 2023 වර්ෂයන් සඳහා රුපියල් මිලියන 194ක පෞද්ගලික ආදායම් බද්දයක් සහ ලෝලියා ස්කින් කෙයාර් නමින් පවත්වාගෙන යනු ලබන සමාගමකට අදාළව තවත් රුපියල් මිලියන 95ක බදු පැහැර හැරීමක් සම්බන්ධයෙන් පියුමි හංසමාලිට චෝදනා එල්ල වී තිබෙනවා.
එසේම 2022 සහ 2023 වර්ෂ දෙකට අදාළව රුපියල් මිලියන 194ක පුද්ගල ආදායම් බද්ද හා පොලිය සමග නොගෙවීම සම්බන්ධයෙන් ටී.ඒ.සී.වී. තාඹුගලට එරෙහිවත් එලෙස මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට පියවර ගෙන ඇති බවයි දිනේෂ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ.
නීතිඥ දිනේෂ් පෙරේරා මහතා මේ බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ බදු අපරාධ වැරදිවලට අදාළව විමර්ශනවලට අදාළව ප්‍රගතිය සම්බන්ධයෙන් වා්තා අධිකරණය හමුවේ ඊයේ(31) කැඳවූ අවස්ථාවේදීයි.
එසේම නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ රජයට හිමි විය යුතු බදු නොගෙවීම මගින් මෙම සැකකරුවන් දෙදෙනා සාවද්‍ය පරිහරණය යන වැරැද්ද සිදුකර ඇති බවයි.
එසේම 2017 දේශීය ආදායම් පනතේ 186, 189, 190 වගන්ති ප්‍රකාරව සිදුකර ඇති බව කියන වැරදි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන්ට අදාළ වැඩිදුර වාර්තාවක්ද නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
එසේම හිඟ බදු මුදල් සහ ඊට අදාළ දඩ හා පොලිය අයකර ගැනීමේ අරමුණින් විරංජිත් තාඹුගල සහ පියුමි හංසමාලිට එරෙහිව කොළඹ මහාධිකරණයේ චෝදනා ගොනු කරන බවද නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පවසනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් දෙසැම්බර් 15 වන දිනට අධිකරණයට වාර්තා කරන ලෙසට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක්ද නිකුත් කළා.