
පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී වගකීම් පැහැර හරින ලද නිලධාරීන් වත්මන් ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන බවත් ඒ සියල්ල යටගසා යුද්ධය අවසන් කිරීමට බුද්ධි අංශයට නායකත්වය ලබාදුන් නිලධාරීන් හිරකරගෙන සිටින්නේ කාගේ අවශ්‍යතාවයන් උවමනාවන් ඉටු කිරීමටදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටිනවා.
නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ පළාත් පාලන කොට්ඨාස රැස්වීම් මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ආසනයේ කැකිරාව නගර කොට්ඨාස ජනහමුවට සහභාගී වෙමිනි.
අනුරාධපුර දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නායකත්වයෙන් කැකිරාව ආසන සංවිධායක කේ.ජී. ප්‍රභාත් වීරසේන මහතාගේ සංවිධායකත්වයෙන් මෙම ජනහමුව පැවැත්වුණා.
එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී කුරුණෑගල දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසේන ගමගේ, සංජිව එදිරිමාන්න, සුමිත් උඩුකුඹුර, ජයන්ත කැටගොඩ සහ ජගත් කුමාර මෙන්ම කොට්ඨාසයේ පක්ෂ ක්‍රියාකාරීන් සහභාගී වී සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙලෙස කියා සිටියා.
ආණ්ඩුවේ තියෙන ජනතා විරෝධී න්‍යාය පත්‍රය නිසා ගොවියාට, ධීවරයාට, කම්කරුවාට විරුද්ධව ආණ්ඩුව ගන්න තීන්දු තීරණ නිසා අද ගම්වල ජනතාව නැවත වතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වගේම අප වටා ඒකරාශී වෙනවා.
අපි වැඩකරපු දේශපාලන බලවේගයක්. අපි බොරු කියලා ඡන්ද ගත්තේ නෑ. අපි හැමදාම කරන්න පුලුවන් දේ අපි පුලුවන් කිව්වා, බැරි දේ අපි බෑ කිව්වා.
අපි මේ රටේ ගමේ ජනතාව ගැන හිතලා තීන්දු තීරණ ගත්තේ, සමහර තීන්දු අපිට දේශපාලනික වශයෙන් අවාසි වුණා. පහුගිය කාලේ කොවිඩ් 19 වසංගතය එන කොට අපිට තීන්දුවක් ගන්න වුණා ජනතාවගේ ජීවිත බේරා ගන්නවාද? එහෙම නැත්නම් ජනතාවගේ ආර්ථික කාරණය ගැන පමණක් හිතලා ජනතාව මැරෙන්න ඇරලා නිකං ඉන්නවාද කියලා.
ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව තීරණය කළා අපි ආර්ථික වශයෙන් යම් පීඩාවකට පත් වුණත් ජනතාවගේ ජීවිත බේරා ගන්නවා කියලා.
ඒ නිසා අපි ගත්ත හැම තීන්දුවක්ම ගත්තේ සමාජ ව්‍යසනයක් වලක්වන්න.
සමාජය තුළ ගමේ අම්මා, තාත්තාගේ ආර්ථිකය කඩා වැටීම වලක්වන්න අමාරුවෙන්, අපහසුවෙන් සහන දීලා හරි කර්මාන්ත ශාලා රැකගෙන ඔබේ දරුවාගේ රැකියාව ආරක්ෂා කරලා දෙන්න, කන්න දෙකක් අපි නිකං පොහොර දුන්නා.
අපිව විශ්වාස කළා ගමේ වැව්වොත් තමයි මේ රටේ මිනිස්සුන්ගේ බඩ පුරවන්න පුලුවන් කියලා.
ගොවියාගේ බඩට ගහලා මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බෑ. අපිත් එක වෙලාවක පොහොර පිළිබඳව තීන්දුවක් අර ගත්තා.
හැබැයි අපි ඔබට වගකීමකින් කියනවා අපි හදන හැම ආණ්ඩුවකම මේ රටේ ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරනවා වගේම මහ පොළවේ පයගහපු ගොවියාව රකින්න අවශ්‍යය හැම පියවරක්ම අපි ගන්නවා.
අද ආණ්ඩුව හිතනවා පිටින් ගෙනල්ලා කන්න දෙන එක ලාභයි කියලා.
ආණ්ඩුවේ ව්‍යාපාරිකයෝ කීපදෙනෙක් පිටින් ගේන එළවලු, පළතුරු, හාල් ටික ආණ්ඩුවේ න්‍යයාපත්‍රයට ක්‍රියාත්මක වෙන්නේ.
ගොවියා ආරක්ෂා කරන්න ආණ්ඩුවට කිසිම අවශ්‍යතාවක් නෑ.
වත්මන් ආණ්ඩුවේ අය විපක්ෂයේ ඉන්න කාලේ ඒ මහත්වරු කුඹුරුවලමයි බැහැලා හිටියේ. ගොයම් කෑවා.
මේ දවස්වල මඩ කරන කාලය.
මඩ නාගෙන අපිට බැන්නේ. අද වෙන කොට පොහොර පිළිබඳව ආණ්ඩුවේ තීන්දුවක් නෑ. මහ කන්නයට අවශ්‍යය පොහොර ටික දෙන්න ආණ්ඩුවට සැලැස්මක් නෑ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 350 ගානේ අවුරුදු 10 ක් පොහොර දුන්නා. මේ ආණ්ඩුව බලයට ආවේ ගොවියට සහන දෙනවා කියලා.
ගොවියාට සහන දෙනවා කියලා ආපු ආණ්ඩුව ව්‍යපාරිකයාට සහන දෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා.
ගොවියා සම්පූර්ණයෙන්ම අමතක කරලා.
පොහොර මිටිය රුපියල් 18 000 යි, 20 000 ට, 25 000 ට කලු කඩේ විකිණෙන තත්වයට මේ රටේ කලු කඩ ව්‍යාපාරයක් නිර්මාණය කරලා තියෙනවා.
ඒ තුළ අවසානයේ අසරණ වෙන්නේ අහිංසක ගොවි ජනතාව, තවත් පැත්තකින් අද ලෝකයම අනාගත ආහාර හිඟයකට සූදානම් වෙනවා. අපේ රට මොකක්ද කරන්නේ?
තවත් රටවල්වලින් ගෙනත් කන්න දෙන තත්වයට කෘෂිකර්මාන්තය වට්ටලා තියෙනවා.
අපි හැමදාම රට පැත්තේ ඉඳලා තීන්දු තීරණ ගත්තේ.
අපි මේ රටේ ඒකීයත්වය වෙනුවෙන් පෙනී හිටියා. අපි එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් එක්ක හැප්පුනා,
මේ කැකිරාවේ අහිංසක අම්මා තාත්තාගේ දරුවෝ රණවිරුවෝ විදිහට යුධ බිමට ගිහින් ජීවිත අහිමි වුණා.
අදටත් ගමේ ආබාධිත වූ රණවිරුවෝ ජීවත් වෙනවා.
එදා අනුරාධපුරය මායිම් ගම්මානයක් දිස්ත්‍රික්කයක් විදිහට කොටි ගෙවල්වලට පැනලා, ගම් වලට පැනලා ජනතාව, මහා සංඝරත්නය, ආගමික නායකයෝ, අතදරුවන් පවා කපලා, කොටලා මරළා දැම්මා.
ඒ ත්‍රස්තවාදය පරාජය කළා. ඒ පරාජය කරන්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව අම්මා තාත්තාගේ දරුවෝ ජීවිත පූජා කළා.
අද ආණ්ඩුවට කටක් ඇරලා, කොන්ද කෙලින් තියන් ඒ රණවිරුවන්ට රණවරුවෝ කියලා කියන්න බැරි තැනට වැටිලා තියෙනවා.
ආණ්ඩුවේ අවශ්‍යතාව ඩයස්පෝරාවේ න්‍යායපත්‍රය.
දැන් සුරේෂ් සලේව ගෙනල්ලා හිරකරගෙන ඉන්නවා. ජනාධිපතිවරයාගේ නියමයෙන්, ජනාධිපතිවරයාගේ සැලැස්ම මොකක්ද?
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ගේ ජාතික ලැයිස්තුවේ හිටපු ඉබ්‍රහිම්ගේ පුතාලා දෙන්න මරාගෙන මැරුනේ. පොහොට්ටුවේ එක්කෙනෙක් නෙමෙයි. ජේ.වී.පී එකේ.
පාස්කු ප්‍රහාරය යන කොට වගකීම් පැහැර හැරපු නිළධාරීන් අද ආණ්ඩුවේ ඉහළ තනතුරු දරනවා. ඒ සියල්ලම යට ගහලා.
යුද්ධය අවසන් කරන්න බුද්ධි අංශයට නායකත්වය දුන්න නිළධාරීන්ව ගෙනල්ලා හිර කර ගෙන ඉන්නවා.
කාගේ අවශ්‍යතාවයද ? උවමනාවද මේ ආණ්ඩුව ඉෂ්ඨ කරන්නේ.
රටක බුද්ධි අංශ දුර්වල කිරීම තුළින් රටක ජාතික ආරක්ෂාව බිඳ වැටෙනවා.
යහපාලන ආණ්ඩුව ඒ වැරැද්ද කර ගත්තා.
යහපාලන ආණ්ඩුව බලයට ඇවිල්ලා බුද්ධි අංශ නිළධාරීන්ව සිරගත කළා. ඔබට මතක ඇති.
අවසානයේ අන්තවාදීන් හිස ඔසවලා පාස්කු ඉරිදා ප්‍රහාරය ඇති කලා.
එදා ආණ්ඩු ඒක යට ගැහුවා. එදා ආණ්ඩු පාස්කු ප්‍රහාරය වලක්වා ගන්න තිබුණ නිළධාරීන් ක්‍රියාත්මක වුනේ නෑ.
අද මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා ෆයිල් හංගපු, බුද්ධි අංශ වාර්ථා හංගන් හිටපු නිළධාරීන්ව ආරක්ෂා කරලා යුද්ධය අවසන් කරන්න රණවිරුවන්ට, බුද්ධි අංශයට නායකත්වය දීපු නිළධාරීන්ව සිරගත කරනවා. ජනාධිපතිවරයාගේ නියමයෙන් කාගේ අවශ්‍යතාවයද ආණ්ඩුව මේ ඉටු කරන්නේ?
අහිංසක අම්මා තාත්තාගේ දරුවෝ යුධ බිමට ගියා. ජේ.වී.පී අය යුද්ධයට ගියේ නෑ. ඒ අය යුද්ධ කලේ 88-89 කාලේ ගමත් එක්ක, හමුදාව එක්ක.
එල්.ටී.ටී එක වගේම තමයි. අනෙක් පැත්තෙන් අපේ ගම්වල අම්මා, තාත්තාගේ දරුවෝ ජීවිත පූජා කළා.
අඩු ගානේ ඒ මහපොළවට පස් වෙච්ච ජීවිතවලට වටිනාකමක් දෙන්න, එහෙම දෙන්න වුවමනාවක් ආණ්ඩුවට නෑ.
ඩයස්පෝරාවේ අවශ්‍යතාව කේන්ද්‍ර කරගෙන රණවිරුවාට පහර දෙනවා.
ලෝකයේ ත්‍රස්තාවදය පරාජය කරපු පළවැනි රට අපි. ලෝකයේ ත්‍රස්තවාදය පරාජය කරපු එකම රට අපි.
ලෝකයේ ත්‍රස්තාවදය පරාජය කරලා ආර්ථික වර්ධන වේගය 7% කට වැඩි වේගයට අරගෙන ගියපු එකම නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා.
ඒ ඉතිහාසය ඒ නායකත්වය වලදාන්න, ඒ රට, ජාතිය, ආගම ගොඩනගපු, මේ රටේ සියලුම ආගම්, ජාතීන්වල ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පරිසරයක් හැදුවා.
ඒකට ඊර්ෂියා කරන, වෛරකරන දේශපාලන බලවේගයක් අද රට පාලනය කරන්නේ.
කණගාටුයි, දුකයි, රණවිරුවෝ තමන්ගේ ජීවිතය පූජා කරලා ලබා ගත්ත ජයග්‍රහණය මේ වගේ පාවලා දෙනවා දැක්කාම දුකයි.
මේ රටේ ගොවිජනතාව රකින්න ඕන, රණවිරුවා රකින්න ඕන, වර්ථමාන බදු ප්‍රතිපත්තියත් එක්ක අහිංසක දෙමාපියන්ට ඒක දරා ගන්න බෑ, ව්‍යාපාර වැහෙනවා.
ආණ්ඩුවට අයිති, ආණ්ඩුවත් එක්ක හිතවත්, ආණ්ඩුවට වැඩ කරන මහා පරිමාණ ව්‍යාපාරිකයන් ආරක්ෂා කරන්න තීන්දු තීරණ ගන්න ආණ්ඩුවක්.
අද බැරි වෙලා තියෙනවා ගමේ ව්‍යවසායකයා ආරක්ෂා කරන්න තීන්දුවක් ගන්න.
ගමේ කුඩා ව්‍යාපාරිකයා රකින්න, ගමේ කඩේ , පොලේ වෙළඳම් කරන වෙලෙන්දා ආරක්ෂා කරන්න.
හැබැයි මහා පරිමාණ ව්‍යාපාර රකින්න ආණ්ඩුව ක්‍රියාමාර්ග ගන්නවා.
අනෙක් පැත්තෙන් කර්මාන්ත ශාලා දිනෙන් දින වැහෙනවා. වැහෙන කර්මාන්ත ශාලා ආරක්ෂා කර ගෙන රැකියා ටික රැක ගන්න ආණ්ඩුවට සැලැස්මක් නෑ.
අද ඒ නිසා තරුණ පරම්පරාවේ විරැකියා ප්‍රතිශතය වැඩි වෙනවා.
පහුගිය කාළයේ උපාධිධාරීන්ට රැකියා දෙන්න පොරොන්දු වෙලා මැතිවරණය මෙහෙයෙව්වේ, අද ඒ තමන් මැතිවරණ කාළයේ ගෙයින් ගෙට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශත් එක්ක යවපු උපාධීධාරීන්ගේ රස්සාව පිළිබඳව කථා කරන කොට ගහලා පන්නනවා.
උසස් පෙළ දරුවන්ට අද වෙන කොට සිලබස් එක ආවරණය කර ගන්න බැරි වෙලා තියෙනවා.
ඒ දරුවන් පිළිබඳව සාකච්ජා කරලා ඒ දරුවන්ගේ පැත්තෙන් තීන්දු තීරණ ගන්න ආණ්ඩුව මැලි වෙනවා.
අද ආණ්ඩුව කියපු බොරුව වහගන්න තවත් බොරු කියන තත්වයට ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ දැන් බොරු කිව්වා ඇති.
ආණ්ඩුව කට ඇරියොත් කියන්නේ බොරු. ජනාධිපතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ගමේ ඇවිල්ලා මම බනින්නේ නෑ, මට බැනලා වැඩකුත් නෑ.
හැබැයි එතුමා ගෙදර ඉස්සරහා රේල් වේ ස්ටේෂන් එක හරි හදා ගත්තොත් හොඳයි.
නුවරට කොච්චි යනවා කිව්වා තාම නෑ, ජනාධිපතිතුමනි ඔන්න දෙවැනි වතාවටත් ඔබේ ගම ලඟට ආවා, මම ආයේ එනවා.
පහුගිය වෙලාවේ ආවේ තඹුත්තේගමට, දැන් ආවේ කැකිරාවට, මම ආයේ එනවා.අඩු ගානේ රේල් වේ ස්ටේෂන් එක හදලා තියන්න.
අපි ගම්මට්ටමින් ශක්තිමත් වෙමු, අපේ අඩුපාඩු ඇති, දේශපාලන පක්ෂයක් විදිහට අපි මේ රට ගැන හිතලා ගත්ත තීන්දු තීරණ සමහරු දේශපාලනික වශයෙන් රටේ ජනතාව නොමඟ යැව්වා.
අපි කෙරෙහි වැරදි චිත්‍රයක් මැව්වා. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ අපි අඩුපාඩු හදාගමු. අපි ගමක් විදිහට ශක්තිමත් වෙමු. අපි ඔබට වගකීමෙන් කියනවා අපි කිසි දවසක රටට, ජාතියට ද්‍රෝහිවෙන කිසිදු තීන්දුවක් ගන්න දේශපාලන බලවේගයක් නෙමෙයි කියලා අපි මේ රටට කියනවා.
අපි ගොවියා, ධීවරයා ආරක්ෂා කරන දේශපාලන බලවේගයක් වගේම ඔබේ දරුවාගේ අනාගතය නූතන ලෝකයට ගැලපෙන විදිහට වෙනස් කරන්න පුලුවන් නූතනත්වය කරා යන නවීකරණය වුණ අනාගතය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක් කියන එක මහත් ආඩම්බරයෙන් කියනවා.
ලෝකයත් එක්ක ගණුදෙනු කරන්න පුළුවන්, ලෝකයත් එක්ක ඉදිරියට යන්න පුලුවන් දේශපාලන බලවේගයක් අපි ගොඩනගමු.
අපි සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඈත් වෙමු. රටට ලෝකටය ගැලපෙන දේශපාලන න්‍යාය පත්‍රයකට අපි යමු. අපිට ගැලපෙන අපේ සංස්කෘතිය අපි ආරක්ෂා කර ගමු. ආගම දහමට අපි ලෙංගතු වෙමු. ඒ සඳහා නායකත්වය දෙන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම්.














