ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් ජනවාරි 05 වන දින සිට ඉදිරි දිනවලදී උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර සහ ඌව පලාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවද සඳහන්.
අනුරාධපුරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එසේම සබරගමුව පළාතේත්, ගාල්ල, කළුතර, සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ග්නනා ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙනවා.
මේ අතර ඉදිරි පැය 24ක කාලය සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ අනාවැකියද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බවත් ධීවර සහ නාවිවක ප්‍රජාව මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත් දැනුම් දෙනු ලබනවා.
වැසි තත්ත්වය
කන්කසන්තුරය සිට ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ.
සුළඟ
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි.
සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වේ.
ගාල්ල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 55ක් පමණ දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය
ගාල්ල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.












