පවතින වැසි තත්ත්වයත් සමග ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට ආසන්න වී ඇති බවට මහවැලි අධිකාරිය පවසනවා.
ඒ අනුව වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ දැනටමත් වාන් දැමීම ආරම්භ වී ඇති බව මහවැලි අධිකාරිය වැඩිදුරටත් පවසන්නේ.
මහවැලි අධිකාරිය වැඩිදුරටත් පවසන්නේ ලොග්ගල්ඔය, දියබානාඔය, හෑපොළඔය හා උල්හිටිය ජලාශවල වාන් මගින් පිටවන ජල ධාරිතාව හා බදුළු ඔයේ ජලයද සෘජුවම මහවැලි ගඟට එකතු වන බවයි.
මෙම හේතුව නිසා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් පහත් නිම්න ප්‍රදේශයේ සිටින ජනතාවට අවධානයෙන් සහ විමසිලිමත්ව සිටින ලෙසටද අධිකාරිය දැනුම්දී තිබෙනවා.
කලාවැව ද්‍රෝණියට අයත් කලාවැව හා කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති බැවින් බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද සහ කළු ගඟ යන ජලාශවලද ජල මට්ටම් උපරිම මට්ටමේ පවතින බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඉදිරියේදී එම ජලාශවල ද වාන් දැමිය හැකි බැවින් අවධානයෙන් සිටින ලෙසට මහවැලි අධිකාරිය ජනතාවට දැනුම් දෙනවා.
මේ අතර මාදුරු ඔය ජලාශයේද ජල මට්ටම උපරිම මට්ටමේ පවතින බවයි වාර්තා වන්නේ.













