වවුනියාව නේරියකුලම් ප්‍රදේශයේ ගෙවත්තක වළදමා තිබූ ජීව අත්බෝම්බ, ටී56 ගිනි අවි සඳහා යොදාගන්න පතොරම් සහ මත්පෙති තොගයක් සමගින් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.
එම අංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් නේරියකුලම් ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසියකදී මෙම ආයුධ සහ මත්පෙති තොගය සොයාගෙන තිබෙනවා.
පසුගියදා කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මෙම ආයුධ පිළිබඳ අනාවරණ වී ඇති අතර පසුව කෝඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසින් අදාළ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා.
එහිදී නේරියකුලම්හි පිහිටි තවත් සැකකරුවෙකුගේ ගෙවත්තක කෙසෙල් ගසක් ආසන්නයේ ප්ලාස්ටික් බැරයලයක් වළදමා තිබියදී සොයාගෙන එය ගොඩට ගෙන පරීක්‍ෂා කිරීමේදී එහි තිබී පුද්ගල නාශක ජීව අත්බෝම්බ 86ක්, ටී 56 ස්වයංක්‍රීය ගිනි අවි සඳහා යොදාගන්නා පතොරම් තොගයක්, මත් කරල් 5600ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සොයාගත් අතර අදාළ සැකකරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සොයාගත් බෝම්බ සහ සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරන බවට සෙට්ටිකුලම් පොලිසිය සහ වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් කියා සිටියා.