ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ධූරයට අභිනවයෙන් පත් වූ Isabelle Catherine Martin මහත්මිය ඊයේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා.
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ව්‍යසන තත්ත්වය පිළිබඳව සිය ශෝකය පළ කළ කැනේඩියානු මහ කොමසාරිස්වරිය, රට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබා දීමට කැනේඩියානු රජය සූදානම් බව සඳහන් කළා.
මුදා ගැනීමේ මෙහෙයුම් සහ ක්ෂණික සහන දියත් කිරීම් අවසන් කිරීමෙන් පසු දෙවන අදියර ලෙස රට නැවත ගොඩ නැගීමේ අදියරට පිවිස ඇති බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, කැනඩාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව විසින් ලබා දුන් සහාය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළා.
දෙසැම්බර් 16 සිට පාසල් නැවත විවෘත කිරීමට නියමිත බවත්, බහුතරයකට සාමාන්‍ය ලෙස අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට හැකි වන බවත් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළා.
රට සාමාන්‍ය තත්ත්වයට පත් කරමින් සුදුසු පරිදි සහන මධ්‍යස්ථාන ක්‍රමයෙන් අඩු කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කළා.
ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක් ලෙස මෙන්ම රටේ ආර්ථික ස්ථාවරත්වය ගොඩ නැගීම සඳහා වැදගත් කෘෂිකාර්මික අංශ හඳුනා ගනිමින්, කෘෂිකාර්මික අංශයේ අභිවෘද්ධිය සඳහා කැනේඩියානු රජයේ සහාය ලබා දීමට කටයුතු කරන බව මහ කොමසාරිස්වරිය තවදුරටත් සඳහන් කළා.
ආපදා තත්ත්වයෙන් පසු ගොවීන් නැවත වගා කටයුතු ආරම්භ කරමින් සිටින බවත්, ඔවුන්ට සහාය වීම සඳහා දැනටමත් රජය පියවර ගෙන ඇති බවත් අග්‍රාමිත්‍යතුමිය පැවසුවා.
සියලුම පුරවැසියන් ඇතුළත් වන සහ ඔවුන්ට සමාන අවස්ථා ලැබෙන බව සහතික කිරීම සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ මහ කොමසාරිස්වරිය, පරිවර්තන සහ සන්නිවේදන කටයුතු සඳහා කෘතිම බුද්ධි මෙවලම්වල සහාය ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද සඳහන් කළා.













