ඊශ්‍රායලය හා ඉරානය අතර ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වය මත ඊශ්‍රායලය වෙත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමුකිරීම තාවකාලිකව අත්හිටුවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ඊයේ දින (20) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියා.
එහිදී සභාපතිවරයා විසින් මෙසේ ද සඳහන් කරනු ලැබුවා.
“අනපේක්ෂිත විදිහට ජාත්‍යන්තර දේශපාලනයේ ඇතිවුණ තත්ත්වයක් මත ඊශ්‍රායලය හා ඉරානය අතර අනවබෝධයක් සහ යම්කිසි ආරක්ෂක ගැටළුවක් ඇතිවෙලා තිබෙනවා. එහිදී අපේ ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ මතු ආරක්ෂාව සහ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් අපි ඉතා යුහුසුළුව ක්‍රියාත්මක වුණා.
මේ වන විට දවස් 8කට ආසන්න කාලයක් මෙම අනාරක්ෂිත තත්ත්වය නිර්මාණයවීමෙන් පසු ගතවී තිබෙන අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා විදේශ කටයුතු, විදේශ රැකියා අමාත්‍යාංශය විසින් විදේශගත රැකියාලාභීන්ගේ රැකියා තත්ත්වය, ඔවුන්ගේ පහසුකම්, ඔවුන් සිටින්නේ අනාරක්ෂිත තත්ත්වයක ද, ඔවුන්ට යම්කිසි ගැටළුවක් ඇතිවීමට ඇති අවස්ථාවන් මොනවාද යන්න පිළිබඳව සොයාබලා යුහුසුළුව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
අපගේ විගමනික ප්‍රජාවගේ මතු ආරක්ෂාව ඉතා වැදගත්ව සලකන කාලයක අපි ඊශ්‍රායල් රාජ්‍යය බලා විගමනිකයකු ගමන් කිරීමේ ක්‍රියාවලිය තාවකාලිකව නතරකර තිබෙනවා. අපගේ විගමනික ශ්‍රමිකයන්ගේ මතු ආරක්ෂාව සහතික වන යම් දිනයක් දක්වා මෙම තාවකාලික නතරකිරීම ක්‍රියාත්මක වනවා.
ඒ වගේම ඒ රටේ සිටින යම්කිසි ශ්‍රී ලාංකික විගමනිකයකුට කිසියම් ගැටළුවක්, අනතුරක් සිදුවුවහොත් එරටෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කරමින් ඔවුන්ට නිසි ආරක්ෂාව ලබාදෙන්නත් කටයුතු කරනවා. මේ වන විට පස්දෙනෙකු වගේ ප්‍රමාණයක් සුළු තුවාල ලබා ඇති අතර, ඔවුන්ට ප්‍රතිකාර ලබාදී අවශ්‍ය පහසුකම්වලට යොමු කරමින් ඊශ්‍රායලයේ අපගේ තානාපති කාර්යාලය යුහුසුළුව මැදිහත් වුණා.
නිතරම තානාපතිතුමාගේ මුහුණුපොත හරහා සමාජය දැනුවත් කරමින් ඒ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැහැදිළිව, නිසි අවබෝධයකින්, නිසි විධානයකින් හා නිසි කාර්යක්ෂමතාවයකින් යුතුව වැඩකරමින් සිටිනවා.
ඊශ්‍රායලයේ රැකියා සඳහා විශාල ඉල්ලුමක් පසුගිය කාලය පුරාවටම පැවතුණා. මෙම තත්ත්වය ඉතා ඉක්මනින් සමනය වෙයි කියා අපි විශ්වාස කරනවා. අපි උත්සහ කරනවා ඉතාමත්ම නුදුරු දිනකදී එම තත්ත්වය වෙනස් වීමෙන් අපට පරණ සුපුරුදු ජවයෙන් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබෙයි කියලා.”