පරිපාලන රෙගුලාසි, මූල්‍ය රෙගුලාසි ප්‍රකාරව වතු කම්කරුවන් සඳහා දීමනාවක් ගෙවා ගැනීමට අයවැය යෝජනාවක් සකස් කරගැනීමට නොහැකි ආණ්ඩුව වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට විපක්ෂය විරුද්ධ යැයි ව්‍යාජ ජන මතයක් හදන්නට උත්සාහ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය රත්තොට ප්‍රදේශයේදී කියා සිටියා.
පසුගිය අයවැය මගින් වතු කම්කරුවන්ට රුපියල් 1700ක වැටුපක් ලබාදෙන බව ප්‍රකාශ කළද එය ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වූ බවයි මන්ත්‍රීවරිය පවසන්නේ.
වතු කම්කරුවන්ට නිවාස ඔප්පු ලබාදෙන බව බව පවසා කඩදාසි කැබැල්ලක් බණ්ඩාරවෙලදී ලබාදුන් බවද මන්ත්‍රීවරිය පවසනවා.
රටේ මුදල් රෙගුලාසි අනපනත් අනුව ඒකාබද්ධ අරමුදල් මගින් පුද්ගලික වියදම් දැරිය නොහැකි බව දැන දැනම වතු කම්කරුවන්ට රුපියල් 200ක දීමනාවක් දෙන බව වසා අයවැය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසන්නේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය…
ලංකාවේ පවතින මූල්‍ය රෙගුලාසි අනුව පුද්ගලික සමාගමක සේවකයින්ට ආණ්ඩුවෙන් වැටුප් ගෙවන්න බෑ. පුද්ගලික සමාගමකට වැඩ කරනවාට ආණ්ඩුවෙන් වැටපු ගෙවන්න රාජ්‍ය නිලධාරීන් අල්ලස් පනතේ ‘දුෂණය’ කියන වරදට චෝදනා එල්ල වෙනවා.
මේ ආණ්ඩුවට හරි හමන් අය වැය යෝජනාවක් හදාගන්න බෑ. මේ ආණ්ඩුව වගේම වැඩ කරමින් පුරුදු වෙනවා. හැම දේම අවුල් කර ගන්නවා. වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරීම ආණ්ඩුව ගෙනාපු ඉතා යහපත් යෝජනාවක්. හැබැයි, ඒකාබද්ධ අරමුදල් මගින් පුද්ගලික අංශයේ පඩි ගෙවන්න යෝජනා කිරීම “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ ‘අය වැය අධ්‍යක්ෂ ජනරාල්’ හිරේ යන වැඩක්.
වතු කම්කරුවන්ට වැටුප් ගෙවන්න නම් ආණ්ඩුව හරි ක්‍රමයක් සොයාගත යුතුයි. මම මේ වරද පෙන්වා දෙනවා. ආණ්ඩුව කරන්නේ බොරුව කියලා මම කියනවා. දැන් වැඩ බැරි ආණ්ඩුව විපක්ෂය චෝදනා කරනවා වතු කම්කරුවන්ට වැටුප් ගෙවන්වාට අපි විරුද්ධයි කියලා. මේවා වැඩ බැරි ආණ්ඩුවේ බංකොලොත් වැඩ.
මම අල්ලස් කොමිසමට, විගණකාධිපතිවරයාට යෝජනා කළේ මේ වැඩ බැරි ආණ්ඩුවට මේ යෝජනාවට හරියට හදලා දෙන්න කියලා.
1. යෝජනාව හරියට හදලා රු. 2000 ක වැටුප් වතු කම්කරුවන්ට ගෙවන්න කියලා මම ලිපියෙන් යෝජනා කළා.
2. කුඩා හා මධ්‍ය පරිමාණ වතුවල සේවය කරන 40,000 කට ත් රු. 2000 ක අවම වැටුප ලබාදෙන ක්‍රමයක් හදන්න මම යෝජනා කළා.
3. ලොකු සමාගම් ටිකක විතරක් නෙවෙයි, රටේ සැම වතු කම්කරුවෙකුට වැඩ කරන දවස් ගාන නොතකා වැඩ කරන හැම දවසකට රු. 2000 ක් දෙන ක්‍රමයක් අවශ්‍යයි.
අද කරන්නේ රාජ්‍ය නිලධාරීන් අතින් වරදක් වුනාම, ඔවුන් අල්ලලා හිරේ දාන එක. මේ අය වැය යෝජනාව වැරදි බව, කිසිම අයුරිකන් පුද්ගලික වත්තක වැඩ කරන කම්කරුවන්ට ආණ්ඩුවෙන් පඩි ගෙවන්න බැරි බව පරිපාලන ගැන අවබෝධයක් තියෙන ඕනම කෙනෙකුට තේරෙනවා.
‘මුදල් අමාත්‍යාංශය මේ අය වැය යෝජානාව ලියා ඇති ආකාරයට වතු කම්කරුවන්ට භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදල් මගින් වැටුප් හා දීමනා ගෙවන්නේ නම් එම වව්චර සකස් කරන, නිර්දේශ කරන, අනුමත කරන නිලධාරීන් අමාරුවේ වැටෙනවා. අන්තිමට වතු කම්කරුවාට පඩියත් නෑ. නිලධාරීන්ට රස්සාවත් නෑ. නටපු තොවිලෙකුත් නෑ. බෙරේ පළුවකුත් නෑ!
අල්ලස් කොමිසම ලිඛිතව කියනවා නම්, ‘ඒකාබද්ධ අරමුදලෙන් පඩි ගෙව්වාට’ හිරේ දාන්නේ නෑ කියලා වතු කම්කරුවන්ට රු. 2000 ක් දීලා එහි ගෞරවය ආණ්ඩුව ලබා ගත හැකියි. ඇඟලුම් කම්හල් සේවිකාවන්ටත්, අවශ්‍ය තවත් අයටත් මේ විදිහටම ආණ්ඩුවේ බදු මුදල් වලින් වැටුප් ගෙවන්න පුළුවන්.











