කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට අපද්‍රව්‍ය බැහැර කළ පුද්ගලයෙකු අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ සීදුව අනුපාලක ස්ථානය විසින් ඊයේ(10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ එල් 19 කිලෝමීටර් කණුව ආසන්නයේදී අධිවේගී මාර්ගයේ ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට කොළඹ දෙස සිට කටුනායක දෙසට ධාවනය වූ මගීන් පිරිසක් රැගත් වෑන් රථයක රියදුරෙකු විසින් අපද්‍රව්‍ය සහිත බෑගයක් අධිවේගී මාර්ගයට බැහැර කිරීමක් නිරීක්ෂණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඒ අනුව එම නිලධාරීන් විසින් වහාම සීදුව අනුපාලක ස්ථානය දැනුවත් කිරීමෙන් පසු එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් විසින් මංමාවත් පනත යටතේ මාර්ගයට කුණුකසළ බැහැර කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සීදුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 35ක් පමණ වන යාපනය අල්වායි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු අද(11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉිදරිපත් කිරීමට නියමිතයි.
මාර්ග සංවර්ධන අධිකාරිය මගින් දෛනිකව නඩත්තු කටයුතු සිදු කරනු ලබන මහජනතාවට සුව පහසුවෙන් ගමන් කිරීම සඳහා ඉදිකර ඇති මෙම අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ගේ හා මගීන්ගේ ආරක්ෂාව සඳහා පොලිසිය නිරන්තරව කටයුතු කරනු ලබන බවයි පොලිසිය පවසන්නේ.
එසේම දැනුවත් කිරීම් පුවරු සවි කිරීම්, වේග සීමා සඳහන් කිරීම් ඇතුළු විවිධ ක්‍රියාමාර්ග ගනිමින් රියදුරන්ගේ හා මගීන්ගේ දැඩි ආරක්ෂාව සඳහා හැකි උපරිම දායකත්වයක් ලබාදෙමින් මාර්ග සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කළද මෙවැනි පුද්ගල ක්‍රියා හේතුවෙන් මාර්ගයේ පිරිසිදුභාවයට මෙන්ම ධාවනය වන අනෙකුත් වාහනවල මගීන්ගේ ආරක්ෂාවටද දැඩි තර්ජනයක් සිදුවන අතර එවැනි අවිනීත රියදුරන් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය තවදුරටත් කටයුතු කරන බවද පොලිසිය පවසනවා.













