වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවෙක් සහ සැකකාරියක් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෙබරවාරි මස 14 වන දින ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කර පුද්ගලයින් 4 දෙනෙකුට තුවාල සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද විමර්ශන අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් ඊයේ(27) දින කඩවත, සූරියපාලුව ප්‍රදේශයේදී හා වැල්ලම්පිටිය වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 540ක් සමග සැකකරුවෙක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 100ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන වෙරළබඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරු අවුරුදු 44ක් හා සැකකාරිය අවුරුදු 29ක් වන සේදවත්ත හා වෙහෙරගොඩැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
මෙම සැකකරු අපරාධයෙන් පසු වෙඩික්කරු ගිනි අවියද රැගෙන පළාගිය ත්‍රීරෝද රථයේ රියදුරු බවත් සැකකාරිය මොහුට සහාය දක්වා ඇති බවත් වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
සැකකරු හා සැකකාරියට දින හතක් රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතව ඇති අතර වෙරළබඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














