හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය යතුරු පැදියකින් ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි අඹුසැමි යුවළක් ඊයේ(26) රාත්‍රීයේ ගිනිගත්හේන, පොල්පිටිය, කලුගල පොලිස් මාර්ග බාධකයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් කොට්ඨාසභාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා පවසනවා.
ඒ දර්ගා නගරයේ පදිංචි වයස අවුරුදු 25ක් පමණ සැකකරු සහ ඔහුගේ වයස අවුරුදු 20ක් පමණ වයසැති මාස පහක ගැබිණි බිරිඳත් සමග දර්ගා නගරයේ සිට නුවරඑළිය දක්වා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදීයි.
කලුගල පොලිස් මාර්ග බාධකයේ සිටින පොලිස් නිලධාරීන් යතුරු පැදිය නතර කර පරීක්ෂා කිරීමේදී එම යුවලගේ ඇඳුම්වල සඟවා සිටි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් තිබී සොයා ගත් බවයි පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.
සැකකරු එම මත්ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයට ඇසුරුම් කර තිබූ බවත් ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන එම ගැනුම්කරුවන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය ප්‍රමාණය හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තෝරා ගත් ස්ථානවල තබා ඒ පිළිබඳ සැකකරු විසින් මත්ද්‍රව්‍ය ගැනුම්කරුට දුරකථනයෙන් දැනුම් දෙන බවයි පොල්පිටිය පොලිසිය විසින් දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
සැකකරු මත්ද්‍රවය අලෙවි කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් දිවයිනේ පොලිස් ස්ථාන කිහිපයකින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇප මත සිටින සැකකරුවෙකු බවයි අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(27) දින ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ලබාදෙන ප්‍රධාන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.