සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රපති කොබවක ධම්මින්ද නාහිමි බැහැදැක තිබෙනවා.
මෙහි දී සෞඛ්‍ය අමාත්‍යවරයා ඓතිහාසික කතරගම පූජා භුමිය වන්දනාමාන කිරිම සඳහා පැමිණෙන දෙස් විදෙස් ජනතාවට සහ ප්‍රදේශවාසී ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීම උදෙසා සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනයෙහි ලා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳවත්, කතරගම පූජා නගරයේ සංවර්ධන කටයුතු පිළිබඳවත් නාහිමිපාණන් වහන්සේ දැනුවත් කරන ලද බවයි එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
එමෙන් ම රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ප්‍රාථමික සෞඛ්‍ය ආයතන සවිබල වැඩපිළිවෙළ සහ ඉන් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම පිළිබඳව ද කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රපති කොබවක ධම්මින්ද නාහිමි දැනුවත් කිරීමට අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.
කතරගම රෝහලේ බාහිර රෝගී ඒකකය නවීකරණ කටයුතු සහ හදිසි ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය මෙන්ම එහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් නාහිමිපාණන් දැනුවත් කළ බවයි නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මෙම අවස්ථාවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මපාල හේරත් යන මහත්වරු ද එක්ව සිටියා.