මස්කෙළිය පොලිස් වසමට අයත් ස්ටැස්පි වතුයායට ඉහළින් පිහිටි සමනළ ස්වභාවික රක්ෂිතයේ ඇළ මාර්ගයක් අසල නීති විරෝධී ලෙස මත්පැන් පෙරමින් සිටි සැකකරුවෙක් උපකරණද සමගින් මස්කෙළිය පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ(21) රාත්රීයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මස්කෙළිය පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම නිලධාරීන් සහ මස්කෙළිය පොලිසියේ නිලධාරීන් පිරිසක් එම රක්ෂිතය තුළට පිවිස දින එක හමාරක් එහි රැඳී සිට මෙසේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මත්පැන් පෙරීමේ ස්ථානය වටලා තිබෙනවා.
මෙම වැටලීමේදී ගෝඩා ලීටර් 210ක් විනාශ කර ඇති අතර සැකකරු විසින් පෙරා තිබූ ස්ප්රීතු මිලිලීටර් 1500ක් සහ නීති විරෝධී ලෙස මත්පැන් පෙරීමට උපයෝගී කරගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු එම වතුයායේම පදිංචි අවුරුදු 69ක් වයසැති අයෙකු බවත් එම සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඔහුට එරෙහිව හැටන් මහේස්ත්රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතා කියා සිටියේ.
මෙම වැටලීමට පොලිස් ස්ථානාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් සැරයන් රුක්මන්(52359), පොලිස් සැරයන් වීරසේකර(32155), පොලිස් කොස්තාපල් නවුෂාඩ්(102874) සහ මස්කෙළිය පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරීන් සහභාගි වී තිබෙනවා.













