මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා ඉදිරියේදීයි කැඳවනු ලැබුවේ .
2010, 2011 සහ 2012 වසරවල රුපියල් 36,975,959ක පුද්ගල ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර තිබුණා .
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි ඇප මත සිටින වාස් ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටියේ.
වගඋත්තරකාර ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කරුණු දක්වමින් මෙම මහෙස්ත්‍රාත් අධිකරණ නඩුවට එරෙහිව සිය සේවාදායකයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකොට ඇති බව සඳහන් කළා .
එම පෙත්සම ලබන වසරේ මාර්තු මස 26 වනදා කැඳවීමට දින නියම කර තිබෙන බවයි ඔහු පැවසුවේ.
දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුකරයට අදාළව කිසිදු නියෝගයක් මේ දක්වා නිකුත් කර නොමැති බවයි සඳහන් කළේ.