මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන ලබන 10 වැනිදා (ඉරිදා) එම විභාග මධ්‍යස්ථානවලට කවකටු පෙට්ටි, ස්මාර්ට් ඔරලෝසු, පැන්සල් රඳවන හා රැගෙන යෑම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාග දෙපාර්තමේන්තුවේ පෙරේදා (06දා) පැවති මාධ්‍ය හමුවේදී පැවසුවාය.
විභාගයට අවශ්‍ය පෑන්, පැන්සල්, මකන සහ සාමාන්‍ය ඔරලෝසුවක් රැගෙන යෑමට අවසර ලැබෙන බව ද විභාග මධ්‍යස්ථානවලට දරුවන් රැගෙන යන අධ්‍යාපන උපකරණ පිළිබඳව මව්පියන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද ඇය කියා සිටියාය.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2787කදී පැවැත්වෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සිංහල මාධ්‍ය අයැදුම්කරුවන් දෙලක්‍ෂ තිස්එක්දහස් හයසිය තිස්අටක්(231,638) සහ දෙමළ මාධ්‍ය අයැදුම්කරුවන් හැත්තෑහයදහස් තුන්සිය දහතුන් දෙනකු (76,313) වශයෙන් මුළු අයැදුම්කරුවන් තුන්ලක්‍ෂ හත්දහස් නවසිය පනස්නව දෙනකු (307,959) පෙනී සිටීමට නියමිත බව ද ඇය සඳහන් කළාය.
සිසුන් පෙරවරු 8.30 වනවිට විභාග ශාලාවලට පැමිණිය යුතු බව ද දෙවැනි ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30 සිට පෙරවරු 10.45 දක්වා ද, පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා ද පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය පවසයි.