එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර තිබෙනවා.
ඔහු මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන අතර, 1991 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 24 වන බඳවා ගැනීමේ සාමාන්‍ය රාජකාරි නියමු ශාඛාවේ කැඩෙට් නිලධාරියෙකු ලෙසයි සම්බන්ධ වී ඇත්තේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ මූලික හා උසස් පියාසර පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු ඔහු 1993 දී නියමු නිලධාරියකු ලෙස පත්කර තිබෙනවා.
අංක 04 හෙලිකොප්ටර් බලඝණයේ මෙහෙයුම් හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ එයාර් වයිස් මාර්ෂල් සුමනවීර අණදෙන නිළධාරියෙකු ලෙස අංක 04 සහ අංක 07 හෙලිකොප්ටර් බලඝණ සමඟ සේවය කරන තිබෙනවා.
එමෙන්ම බෙල් 206, බෙල් 212 සහ බෙල් 412 හෙලිකොප්ටර් යානා ක්‍රියාත්මක කරමින් හමුදා මෙහෙයුම් සඳහා සක්‍රීයව සහභාගී වුණා.
ඒ මහතා ගුවන් හමුදා නියමුවෙකු ලෙස සුවිශේෂී නිපුණතාවය සහ නිර්භීතකම පෙන්නුම් කර තිබෙනවා.
2019 අප්‍රේල් මාසයේදී ඔහු එයාර් කොමදෝරු නිලයට උසස් කරන ලද අතර අනුරාධපුරයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා උතුරු ගුවන් විධාන මූලස්ථානයේ උතුරු ගුවන් ආඥාපති ලෙසයි සේවය කළේ.
ඔහු ප්‍රහාරක බලඝණ දෙකක් සහ බර ප්‍රවාහන බලඝණයක් ඇතුළු ස්වාධීන කණ්ඩායම් 29කට නිවහන වූ ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ මූලික අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර තිබෙනවා.
එයාර් වයිස් මාර්ෂල් සුමනවීර ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම ගුවන් ආරක්ෂක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් ගුවන් ආරක්ෂක සමස්ත මෙහෙයුම් අණදෙන නිලධාරියා වුණා.
සතුරා හමුවේ සුවිශේෂී නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් අවස්ථා දෙකක් සඳහා ‘රණ වික්‍රම පදක්කම’ සහ ‘රණ සූර පදක්කම’ සම්මානයෙන් පිදුම් ලැබීය. තවද, වටිනා සේවය සහ යුතුකමට කැපවීම, සුවිශේෂී හැකියාව, කුසලතාව සහ ආදර්ශමත් හැසිරීම වෙනුවෙන් ‘උත්තම සේවා පදක්කම’ පිරිනමා තිබෙනවා.