අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල ගොවිජන සේවා බලප්‍රදේශයට අයත් කඳුරුගස්වැව දික්වැව ගම්මානයේ වැව් මායිම තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රක්ෂිත මායිම් ගල් දැමීම හේතුවෙන් තම වැවට හිමි භූමි ප්‍රමාණය අඩු වී ඇතැයි ගොවීන් චෝදනා කරනවා.
මේ හේතුවෙන් යම් දිනෙක වැව ප්‍රතිසංස්කරණය කිරීමේදී වැව නිසි ලෙස ප්‍රතිසංස්කරණයක් සිදු කරගැනීමට නොහැකි වනු ඇතැයිද ගොවීන් පෙන්වා දෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල ප්‍රදේශයේ පිහිටි කඳුරුගස්වැව ගම්මානයේ බොහෝ ගොවීන් පිරිසක් මෙම දික්වැව වැවෙන් තම වගා කටයුතු සඳහා ජලය ලබා ගන්නවා.
මෙම වැව අහස් දියෙන් පමණක් පෝෂණය වන වැවක් වන අතර, එලෙස වැස්සෙන් පිරෙන වැවෙන් අවුරුද්ද පුරා අක්කර 160 ක් දෙකන්නයම වගා කිරීම සිදු කරනු ලබනවා.
මෙම වැවෙන් පහළ කොටස පමණක් ගොවීන් වී වගාව සිදු කරන අතර, වැව් ඉස්මත්ත ලෙස එප්පාවල පොස්පේට් රක්ෂිතය පවතිනවා.
එම ප්‍රදේශයේ කිසිදු වගාවක් සිදු කිරීමක් හෝ වැව් රක්ෂිත අත්පත් කර ගැනීමක් මෙම ගම්වාසීන් විසින් සිදු කර නොමැති බවද දැක ගැනීමට හැකියාව තිබෙනවා.
එසේ තිබියදී හදිසියේම පසුගිය දිනවල මෙම වැව තුළම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වන රක්ෂිත මායිම් ලෙස ලකුණු කරමින් ගල් දමා ඇතැයි ගොවීන් පවසනවා.
වැව තුළ මෙලෙස රක්ෂිත මායිම් කිරීම හරහා වැවට හිමි භූමිය රක්ෂිතයක් වන බවත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළ යුත්තේ වැව් රක්ෂිතය අතැර ඔවුන්ගේ සීමා මායිම් සලකුණු කිරීම බවත් ගොවීන් පවසනවා.
මේ දින වල වැසි රහිත කාළගුණයක් පවතින බැවින් වැව සිඳී පැවතියද, වර්ෂාවෙන් වැව පිරුණු පසු මෙම මායිම් ගල් පසු කරගෙන අඩි 100 ක් 200ක් දුරට ජලය පිරී යන බවද ගොවීන් පෙන්වා දෙනවා.
යම් දිනෙක වැව ප්‍රතිසංස්කරණයේදී මෙම වන සංරක්ෂණ මායිම් ගල් ගලවා දමා, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හෝ වාරී මාර්ග දෙපාර්තමේන්තුව මගින් වැව් රක්ෂිත ගල් වෙනම දැමීමට සිදු වන බවද ගොවීන් පෙන්වා දෙනවා.
ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වාරී මාර්ග දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන සියලු ආයතන සම්බන්ධ වී මෙම කටයුතු සිදු කළ යුතු වූවත්, එම ආයතන අතර කිසිදු සම්බන්ධතාවක් නොමැතිව මෙසේ එක් එක් ආයතනවල වුවමනාවන්ට කටයුතු කිරීම මගින් නිකරුනේ රජයේ මුදල් නාස්ති වන බවද ඔවුන් පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගොවි මහතුන් මෙලෙස කියා සිටියා.
“වන රක්ෂණයෙන් මේ ගල් සේරම දාලා තියෙන්නේ වැව ඇතුලේ. මේ වන විට මේ වැව ප්‍රථිසංස්කරණය කරන්න පළාත් වාරී මාර්ග එකෙන් මිනුම් කටයුතු කරලා තියෙනවා.
ඊට පස්සේ මුදල් අනුමත වෙලා වැව සංවර්ධනය කරන්න එන කොට මේ ගල් වලින් එපිටට සංවර්ධනයක් කරන්න බෑ. වැව් බැම්මේ ඉඳන් අඩි 30 ක් වත් නෑ ගල් දාලා තියෙනවා.
එතකොට කොහොමද මේ වැව සංවර්ධනය කරන්න.
ඒ නිසා මේ සම්බන්ධව නිසි පිළිතුරක් ලබා දෙන්න කියලා කියන්නේ.
ගොවි සංවිධානයවත් දැනුම්වත් කරන්නේ නැතිව මේ වැව ඇතුලේ ගල් දාලා තියෙන්නේ.
මේ රක්ෂිතය කියලා ගල් දාන්න අවශ්‍යතාවයකුත් නෑ මිනිස්සු මේ රක්ෂිතයට ඇතුලු වෙන්නේවත් නෑ.
අපි කියන්නේ වැව් රක්ෂිතය වෙන් කරලා, වන රක්ෂිතය ලකුණු කරාට අපිට කිසිම ප්‍රශ්නයක් නෑ.
මේ වැව් අහස් දියෙන් පිරෙන නිසා පුලුවන් තරම් මේ වැව්වලට ඉඩකඩ ලබා දීමයි කල යුත්තේ.
මේ වැඩ වලින් වෙන්නේ වැවේ ධාරිතාවය තව තවත් අඩු වීම පමණයි.
අපි මේ සම්බන්ධයෙන් නිළධාරීන් බළධාරීන් දැනුම්වත් කළත් කිසිම කෙනෙක් ආවේ නෑ.
ඒ නිසයි අපි මේ විදිහට මාධ්‍යට කියන්නේ උසස් නිළධාරීන්ගේ දැනුම්වත් වීමට.
අපි ඉල්ලන්නේ මේ වැවේ දියගිල්ම අතහැරලා සීමා මායිම් දාන්න කියලා.”