හානියට පත් වූ බදුල්ල දිස්ත්‍රික්කයේ වාරි පද්ධති අලුත්වැඩියා කිරීමේ සති දෙකක වැඩසටහනක් අද ආරම්භ කෙරුණා.
මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ඉදිරි මහ කන්නයේ වගා කටයුතු සඳහා ජල කළමනාකරණ ජාලයන් යථා තත්ත්වයට පත් කිරීමයි.
අයහපත් කාලගුණයෙන් ඇතිවූ අධික ගංවතුර සහ නායයෑම් හේතුවෙන් දිස්ත්‍රික්කය පුරා වැව්, ඇළ මාර්ග, වේලි සහ අමුණු ඇතුළු වාරි පද්ධති 1000කට අධික ප්‍රමාණයක් හානියට පත්වුනා.
මෙම වැඩසටහන 9 වැනිදා සිට 23 දක්වා ක්‍රියාත්මක වන අතර එහිදී ප්‍රධාන වැඩ බිම් 50ක් ආවරණය කිරීමට නියමිතයි.
ඒ සඳහා පාර්ශ්ව රැසක් දායක් වන අතර ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, විශේෂ කාර්ය බළකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, බදුල්ලේ ගොවි සංවිධාන, මාතර සහ මොණරාගල ස්වේච්ඡා සේවකයන් මෙන්ම ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සාමාජිකයන් සහ රජයේ නිලධාරීන් ද සම්බන්ධ වන බවයි සඳහන් වන්නේ.













