ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඊයේ(25) රාත්‍රීයේ වතු කම්කරුවන් පිරිසක් ඇතුළුවී නොසන්සුන්කාරී ලෙස හැසිරීම පාලනය කිරීම සඳහා ආගරපතන පොලිසිය සමත්ව තිබෙනවා.
ආගරපතන පොලිස් වසමට අයත් බඹරකැලේ වත්තේ ඉහළ කොටසේ රෝගාතුර වූ අවුරුදු 25ක තරුණයෙක් ඉකුත් 23 වනදා එම රෝහලට ගොස් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා නිවසට පැමිණ ආපසු ඊයේ(25) දින රෝගී තත්ත්වය උත්සන්න වූ බැවින් එම තරුණයාගේ ඥාතීන් විසින් එම තරුණයා රෝහල වෙත ඇතුළත් කළ පසු එම රෝහලේ වෛද්‍යවරුන් එම රෝගියා පරීක්ෂා කර බලා නේවාසිකව ප්‍රතිකාර ලබාදී තිබෙනවා.
නේවාසිකව ප්‍රතිකාර ලැබූ තරුණයා ඊයේ(25) රාත්‍රීයේ රෝහල තුළදී මියයාම සම්බන්ධයෙන් උරණ වූ වතු කම්කරුවන් රෝහල තුළට පිවිස රෝගියාට වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය නිසි ප්‍රතිකාර ලබානොදීම නිසා රෝගියා මියගිය බවට චෝදනා කරමින් රෝහල තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබෙනවා.
ආගරපතන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලදාරීන් එම ස්ථානයට පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු වතු කම්කරුවන් රෝහල් පරිශ්‍රයෙන් ඉවත් කර රෝහලට දැඩි ආරක්ෂාවක් ලබාදී මියගිය තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.
අප මේ සම්බන්ධයෙන් ආගරපතන ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුගෙන් කරුණු විමසීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.