කැලණිය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි සැකකරුවෙකුගෙන් අපරාධ රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇති බව එම කොට්ඨාසය පවසනවා.
පොලිසිය කියා සිටියේ පසුගිය 22 වනදා වත්තල, ඇලකන්ද ප්‍රදේශයේදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිට ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාව උතුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක් පමණ වන සැකකරුවෙකු බවත් සැකකරු වත්තල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළ බවත් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසනවා.
සැකකරු සැප්තැම්බර් 23 වනදා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක රැඳවුම් නියෝගයක් ලබාගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු රැසක් හෙළිව තිබෙනවා.
ඒ අනුව දිවයින පුරා විවිධ ප්‍රදේශයන්හි කොල්ලකෑම් හා වෙඩි තැබීම් සම්බන්ධයෙන් අවශ්‍ය කරන අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු බවත් පොලිසිය පවසනවා.
එසේම මොහු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වන අයෙකු බවටද අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.
ජුනි මස 30 වන දින කිරිබත්ගොඩදී කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකෑමේ අපරාධය සඳහා පැමිණි යතුරු පැදියේ පැදිකරු ලෙස සැකකරු පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
එසේම ජූලි මස 03 වන දින කඳානදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ අපරාධය සඳහා පැමිණි යතුරු පැදියේ පැදිකරු බවටද අනාවරණ වී තිබෙනවා
අගෝස්තු මස 7 වන දින කඳන ප්‍රදේශයේදීත් සැප්තැම්බර් 06 වන දින මීගමුව ප්‍රදේශයේදීත් නිවාස දෙකකට වෙඩි තැබීමේ සිද්ධිවල වෙඩික්කරු බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.
විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුගේ මෙහෙයවීම මත මෙම සැකකරු විසින් ඉහත අපරාධ සිදු කර ඇති බවට වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.
අපරාධ සඳහා යොදා ගත් යතුරු පැදියක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන වත්තල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙවනවා.
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.