අද (21) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බවත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පලාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.
මධ්‍යම, ඌව, සබරගමුව පළාත්වලත් මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකි බවයි සඳහන් වන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
මේ අතර ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
වැසි තත්ත්වය
ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රීකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සුළඟ
මුලතිව් සිට කන්කසන්තුරය සහ පුත්තලම හරහා කොළඹ දක්වා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට උතුර දක්වා දිශාවලින් හමන අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමායි එයි.
සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වේ.
මුහුදේ ස්වභාවය
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.














