පුරාවස්තු බවට සැකකරන පාෂාණයක් සමග සැකකරුවන් අට දෙනෙක් මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අඩම්පන්, වට්ටකණ්ඩාල් ප්‍රදේශයේදී මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී පුරාවස්තුවක් බවට සැකකරන පාෂාණයක් රුපියල් කෝටි 3000කට ඉන්දියන් ජාතිකයෙකුට අලෙවි කිරීමට යාමේදී සැකකරුවන් පස් දෙනෙක් සහ ඉන්දියන් ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී මීට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් මන්නාරම පොලිස් වසමේ ලඟුම්හලක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් වයස අවුරුදු 30ත් 69ත් අතර වයස්වල පසුවන පුල්මුඩේ, අඩම්පන්, පේදුරුතුඩුව, හිඟුල හා හෙට්ටිවීදිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඉන්දීය ජාතික පුද්ගලයා වයස අවුරුදු 59ක් වූ අයෙක් බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර පාෂාණය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් වාර්තා කැඳවීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ.
මන්නාරම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.












