හිටපු කතානායක සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රිය අනතුරක් වළක්වා නොගැනීම, අපරීක්‍ෂාකාරී ලෙස රිය පැදවීම සහ තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ අනතුරට සම්බන්ධ ජීප් රථය පැදවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අත්අඩංගුවට ගැනුණු මන්ත්‍රීවරයා පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.
හිටපු කතානායකවරයා ගමන් ගත් ජීප් රථය මෝටර් රථයක ගැටීමෙන් ඊයේ සවස් කාලයේ අනතුරක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පදවාගෙන යමින් සිටි ජීප් රථය පවර්හවුස් හන්දිය දෙස සිට ගල්වල හන්දිය දෙසට ධාවනය කරමින් සිටියදී එම දිසාවටම ගමන් කරමින් තිබූ යතුරු පැදියක පිටුපස ගැටී ඉදිරියෙන් පැමිණි කාර් රථයකද ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ කාර් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සහ ජීප් රථය පැදවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ කාර් රථයේ ගමන් කළ මාස හයක් පමණ වයසැති දැරියක් ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය පවසන්නේ.
යතුරු පැදිකරු සහ කාර් රථයේ රියදුරු තුවාල ලබා නොමැති බවද පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.













