තලවකැලේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ කඩවත ලංගම ඩිපෝවට අයත් බස් රථයක් හදිසියේ තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් බස් රථයේ රියදුරුගේ පාලනයෙන් මිදී අධික බෑවුමක් සහිත ප්‍රදේශයකදී ධාවනය වෙමින් තිබූ බස් රථය පස් කන්දක ගැටීමට සලස්වා බස් රථය රියදුරු විසින් නතර කරගැනීමට සමත්ව ඇති බව ගිනිගත්හේන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් පවසනවා.
හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කඩවල මහ වංගුව ප්‍රදේශයේදී අද(26) දින අලුයම 5.30ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
ධාවනය වෙමින් තිබූ බස් රථය වංගුව ගැනීමට උත්සාහ කිරීමත් සමග බස් රථය පාලනය කරගැනීමට දෙවන ගියරයට ගියරය මාරු කළ බවත් එම අවස්ථාවේ බස් රථයේ තිරිංග පද්ධතිය ක්‍රියාවිරහිත වීම නිසා අත්තිරිංගය භාවිතා කරමින් බස් රථය බෑවුම් සහිත ප්‍රදේශයේ පස් කන්දක ගැටීමට සලස්වා බස් රථය නතර කර ගත් බවයි එම බස් රථයේ රියදුරු වන මහේෂ් සුදර්ශන්(49) තිදරු පියා කියා සිටියේ.
බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 80 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර එම මගීන්ව වෙනත් බස් රථයකින් පිටත් කරයැවටීමට බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පියවර ගෙන තිබෙනවා.
බස් රථය අනතුරට පත් ස්ථානයේ ඉදිරියෙන් නුවරඑළියේ සංචාරයක් සඳහා පැමිණි වෑන් රථ දෙකක් නතර කර තිබූ බවත් බස් රථය නතර කර ගැනීමට නොහැකි වූයේ නම් එම බස් රථය තම වෑන් රථවලද ගැටීමට ඉඩ තිබූ බවයි සංචාරයක් සඳහා පැමිණි වෑන් රථයේ රියදුරන් කියා සිටියේ.
අනතුර සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













