ත්‍රීරෝද රථ සොරකම් කළ සැකකරුවන් තිදෙනෙක් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය දෙසැම්බර් මස 28 වන දින මිරිහාන පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ ත්‍රීරෝද රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරන ලද විමර්ශනයක් අනුව ජනවාරි 10 වන දින ත්‍රිරෝද රථ සොරකම් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් සහ වැඩිදුර විමර්ශනයේදී ඊයේ(11) දින ඊට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ කරුණ මත සොරා ගන්නා ලද ත්‍රීරෝද රථය කුරුවිට ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී යටියන්තොට, බලංගොඩ, බදුල්ල හා බත්තරමුල්ල ප්‍රදේශවලදී සැකකරුවන් විසින් සොරා ගන්නා ලද තවත් ත්‍රීරෝද රථ 10ක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 30, 32 සහ 46 යන වයස්වල පසුවන කැලණිය, අම්බලන්තොට සහ පරකඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් විසින් ත්‍රීරෝද රථවල වර්ණය, චැසි අංක හා එංජින් අංක වෙනස් කර ව්‍යාජ අංක තහඩු හා ව්‍යාජ ලියකියවිලි සකස්කර අලෙවි කිරීමට සූදානම් කර තිබෙනවා.
නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













