ඊශ්‍රායලය සහ ඉරානය අතර වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය මත ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් මේ වන විට ක්‍රියාත්මක මට්ටමේ නොමැති බව ඊශ්‍රායලයේ පිහිටි ජනගහණ හා සංක්‍රමණ අධිකාරිය දැනුම් දී තිබෙනවා. මෙම තත්ත්වය යටතේ ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ඊශ්‍රායල් රැකියා සඳහා තෝරා ගනු ලැබූ සියලුම රැකියා අපේක්ෂිතයින් වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය දැනුම් දෙනවා. එමෙන්ම, මේ වන විට ඊශ්‍රායලයේ රැකියාවක නිරතව සිට නැවත ඊශ්‍රායලය වෙත රැකියාව සඳහා යාමට අපේක්ෂාවෙන් මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින්ටද මෙය අදාල වන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. 1985 අංක 21 දරණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 39 (1) (ආ) වගන්තිය ප්‍රකාරව, ඊශ්‍රායල් රැකියා සඳහා කාර්යාංශයේ ලියාපදිංචිය එම කාර්යාංශය විසින් නැවත දැනුම් දෙනතුරු සිදු නොකරනු ලබන අතර ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමු කිරීම එරට ජනගහණ හා සංක්‍රමණ අධිකාරියේ දැනුම් දීම මත ඉදිරියේදී සිදු කරන බවද එම අමාතයාංශය වැඩිදුරටත් දැනුම් දෙනවා. මේ අතර උද්ගතව ඇති යුධමය තත්ත්වය හමුවේ ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවා. ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ වෙනස් ස්ථානයක සිට අදාළ කටයුතු සිදු කරමින් පවතින බවයි. මැදපෙරදිග මතුව ඇති යුධමය තත්ත්වය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි. තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ඊශ්‍රායලයේ සේවය කරන්නන් වන අතර තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බලමින් සිටින බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.
උණුසුම් පුවත්
- ගතවු පළමු මාස 6 දී අල්ලස් ගත් 34ක් අත්අඩංගුවට
- සැකකරුවෙකු පළායාමේ සිදුවීමට පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්
- ජනවාරි සිට ජූලි දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 13 ඉක්මවයි
- මහනුවර වැවේ පුද්ගල මළසිරුරක්
- මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් ජනපති දිවයිනට
- කොස්ගොඩ වෙඩි තැබීමක් – තරුණයෙක් මරුට – යතුරු පැදිය සොයාගැනේ
- බස් පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා වට්ස්ඇප් අංකයක්
- ශ්‍රී ලංකාව සහ ස්විස්ටලන්තය අතර සංක්‍රමණ සාකච්ඡා