වෙරළබඩ පොලිස් බලප්‍රදේශයේ ජින්තුපිටිය 125 වත්ත ප්‍රදේශයේදී ඊයේ(16) රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ එලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 44ක් වූ නසරේන් නොහොත් කොන්ස්ටන් නමැති අයෙක් බවයි.
එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ වයස අවුරුදු 3ක සහ 4ක දරුවන් දෙදෙනෙක්ද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා කියා සිටියේ දරුවන් දෙදෙනාගේ තත්ත්වය යහපත් බවයි.
එසේම වෛද්‍ය කණ්ඩායම් දරුවන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදු කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
මියගිය පුද්ගලයා නිවසේ රැඳී සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මියගිය පුද්ගලයා වෙළදාම් කරන අයෙක් බවත් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසනවා.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ පාතාල කල්ලි දෙකක් අතර සිදු වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස වෙඩි තබා පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇති බවයි.
එසේම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයන් සඳහා පොලිස් කණ්ඩායම් තුනක් පත් කර ඇති බවද ඔහු කියා සිටියා.










