මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමට ලක්වූ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මරදාන දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ එම දුම්රිය ඊයේ පස්වරුවේ පීලි පැනීමට ලක්ව තිබුණා.
ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදුව ඇති අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වනවිට සිදුවෙමින් පවතින බවයි.
මේ අතර අද පෙරවරුවේ ධාවනය වීමට නියමිත දුම්රියන් ගිංතොට දුම්රිය ස්ථානයෙන් පසුව පිහිටා ඇති දොඩංදූව, හික්කඩුව, කහව සහ අම්බලන්ගොඩ යන දුම්රිය ස්ථානවලින් ආරම්භ කෙරෙන බව සඳහන් වනවා.
එමෙන්ම බෙලිඅත්ත සිට ධාවනය වීමට නියමිත දුම්රිය, ගාල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.